hit counter

2025 සැප්‍තැම්‍බර් මස 19 වන සිකුරාදා

2025 සැප්‍තැම්‍බර් 19, ප.ව. 2:11



ලංකාවේ ක්‍රිකට්වලට ආදරේ කරන හැම දෙනාටම ඊයේ අමතක නොවන දවසක්.

ඒ ශ්‍රී ලංකා කණ්ඩායම අපරාජිතව මෙවර ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටයට සුදුසුකම් ලබාගැනීමට සමත් වුවත් ඒ සතුට විඳින්නත් පෙර ක්‍රිකට් රසිකයන්ගේ ආදරය දිනූ තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩකයෙක් වූ දුනිත් වෙල්ලාලගේගේ පියාගේ හදිසි අභාවය නිසයි.

ඒ වෙන කොටත් ක්‍රිකට් පිටියේ හිටපු දුනිත්ට ආරංචිය කියලා ඔහු පිටියෙන් එළියට ඇවිද යන දසුන තාමත් දසත සැරිසරන්නේ එය එත‍රම්ම සංවේගය දනවන මොහොතක් වූ නිසයි.

කෙසේ වෙතත් අද උදෑසන දුනිත් වෙල්ලාලගේ නැවත ශ්‍රී ලංකාවට ආවේ ක්‍රිකට්වලට තමා තරම්ම ආදරේ කළ තමන්ගේ ආදරණීය පියාගේ වියෝව ගැන තියෙන වේදනාව දරාගෙන.

මේ අතර ඔහුට දෙස් විදෙස්වල ඉන්න තමාගේ ක්‍රිකට් සගයන්ගෙන් පියාගේ අභාවය ගැන ශෝක පණිවුඩ ගලා එනවා.

ඒ වගේම දුනිත්ට ආදරේ කරන හැමෝම සමාජ මාධ්‍ය පුරාවටම ඔහුට වචනයකින් හෝ හයියක් වෙන්නත් අමතක කරන්නේ නැහැ.

මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද සටහනක් තබා ඇත්තේ සංවේගය දනවන අයුරින්.

එම සටහන පහතින් උපුටා දක්වා ඇත.

“මාගේ පියා අහිමිවීම සිදුවන්නේ මට වයස අවුරුදු 22 ක් වැනි ඉතාමත් තරුණ වයසේදීය. ඒ වන විට මා පසු වූයේ මාගේ ජීවිතයේ ආරම්භක අවස්ථාවේය. එහෙත් වයස 22 ක් වැනි ඉතාමත් තරුණ වයසේ දරුවෙක් ලෙස ඔබ දිනා ඇති දේ බොහෝමයි. අපගේ සිහින සැබෑ කර ගැනීමේ සතුට තම දෙමාපියන් සමඟ බෙදාගැනීමට ලැබෙන්නේ අතලොස්සකට පමණි. එහෙත් ඔබ එම අතලොස්සට අයත් වාසනාවන්ත පුතෙකි. අප සාර්ථක වන විට එම ජයග්‍රහණය දකින්නට ඒ ජයග්‍රහණය වෙනුවෙන් බොහෝ දේ කැපකළ ආදරණීය දෙමාපියන් නොමැතිවීම අපව වේදනාවට පත් කරයි. මම එය විඳ ඇත්තෙමි. මාගේ ජයග්‍රහණ හමුවේ දෙමාපියන්ව සිතින් සිහිපත් කර ඇත්තෙමි. එහෙත් ඉතාමත් තරුණ වයසින් ඔබේ දෙමාපියන් ඉදිරියේම ඔබ දිනා ගත් දේ බොහෝමයි. ඔබ මාතෘ භූමිය නියෝජනය කරමින් මේ රටේ සැමගේ සිහින, බලාපොරොත්තු සැබෑ කරනවා සේම ඔබේ පියාගේ පීතෘ සිහිනය ද මේ වන විටත් සැබෑ කර අවසන්ය. ඔබේ පියා ඉදිරියේ මාතෘ භූමිය නියෝජනය කරමින් තුන් ඉරියව්වෙන් ක්‍රිකට් ලෝකයම දිනා අවසන්ය. ඔබේ පියාගේ සැබෑ වූ සිහිනය තව දුරටත් ජීවත් කරවීමට නම් ඔබ මේ සියල්ලටම ශක්තිමත්ව මුහුණ දිය යුතු බව පියෙකු ලෙස මම ඔබට සෙනෙහසින් කියමි. මා ද ඇතුළුව ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන මේ රටේ මෙන්ම ලෝකයේම ජනතාවගේ ආදරය සහ ආශිර්වාදය ඔබ සමඟ බව සිහිපත් කරමි. එමෙන්ම සුරංග වෙල්ලාලගේ මහතාට නිවන් සුව ප්‍රාර්ථනා කරමින් බිරිඳ ඇතුළු පවුලේ සැමට මාගේ බලවත් ශෝකය ප්‍රකාශ කරමි. ආදරණීය දුනිත් වෙල්ලාලගේ, තවත් බොහෝ කල් ඔබේ පියාගේ සිහිනය ජීවත් කිරීමේ වගකීම ඔබට භාරය.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: