hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2023 සැප්‍තැම්‍බර් 09, ප.ව. 3:14



පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වන”චැනල් 4″ අසත්‍ය චෝදනා එල්ල කරන බව ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා.

එම අමාත්‍යාංශය පවසන්නේ මේ එල්ල කරන අසත්‍ය චෝදනා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් තරයේ ප්‍රතික්ෂේප කරන බවයි.

පාස්කු ඉරිදා ප්‍රහාරයේ වගකීම හමුදා බුද්ධි අංශයට සහ ශ්‍රී ලංකා රාජ්‍ය බුද්ධි සේවයේ වත්මන් අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරල් සුරේෂ් සලේ වෙත Channel 4 මගින් පවරනු ලබන අතර ආරක්ෂක අමාත්‍යංශය විසින් එය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ආරක්ෂක අමාත්‍යංශය විසින් මෙම ප්‍රහාරය මෙහෙයවීම සහ බෝම්බකරුවන්ට සහය වීම යන චෝදනා වසර 36ක් පුරා රට වෙනුවෙන් සේවයට කැපවූ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියෙකුට එරෙහිව සිදු කිරීම තරයේ හෙළා දකින බව සඳහන් කරනවා.

මෙම අමාත්‍යංශය පවසන්නේ මේජර් ජෙනරල් සුරේෂ් සලේ 2016 දෙසැම්බර් සිට 2018 දෙසැම්බර් දක්වා මැලේසියාවේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් කාර්යාලයේ අමාත්‍යවරයා ලෙස සේවය කර ඇති අතර, ඔහු ඉන්දියාවේ පාඨමාලව අවසන් කර 2019 වසරේ දී ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන බවත්, මෙය සිදු වූ කාල සිමාව තුළ ඔහු මෙරට සිටි නොමැති බවයි.

මෙම සහසික චෝදනා ආරක්ෂක අමාත්‍යාංශය තරයේ ප්‍රතික්ෂේප කරන අතර එවැනි ද්වේෂසහගත සහ තහවුරු නොකළ ආඛ්‍යානයක් ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් Channel 4 නාලිකාව වෙත සිය අප්‍රසාදය ප්‍රකාශ කරන බව එම අමාත්‍යාංශය පවසනවා.

දේශිය මෙන්ම ජාත්‍යන්තර වෘත්තිය ආයතන විසින් මේ සබැදිව පවත්වනු ලබන විනිවිද භාවයෙන් යුත් පරීක්ෂණ සඳහා පහසුකම් සකස් කොට තිබෙනවා.

එපමනක් නොව, ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිස් (AFP) සහ එක්සත් ජනපදයේ ෆෙඩරල් විමර්ශන කාර්‍යාංශය (FBI) විසින් සිදු කරන ලද විස්තීර්ණ විමර්ශනය ,එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව විසින් පසුව ලබා දුන් තීන්දුව මගින් ද දේශිය පරීක්ෂණවල සොයාගැනීම් නැවත තහවුරු කර තිබෙන බවයි වාර්තා වන්නේ.

ජාත්‍යන්තර විමර්ශන ආයතනයක මෙම ප්‍රබල අනුමැති විමර්ශනයේ නිරවද්‍යතාවය සහ අඛණ්ඩතාව තවදුරටත් තහවුරු කරන බව පවසනවා.

එසේම, ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ ඕනෑම පුද්ගලයෙකුගේ හා ආයතනයක අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට ගරු කරන බව බවයි.

Channel 4 නාලිකාව විසින් සිදු කරන ලද පදනම් විරහිත, ද්වේෂසහගත සහ දුර්වල ලෙස සනාථ කරන ලද ප්‍රකාශයන්ගෙන් පැන නගින ඕනෑම අනපේක්ෂිත ක්‍රියාවක් හෝ ප්‍රතිවිපාක සඳහා Channel 4 නාලිකාව නිසැකවම වගකිව යුතු බව ආරක්ෂක අමාත්‍යංශය තරයේ ප්‍රකාශ කර සිටිනවා.

ආරක්ෂක අමාත්‍යංශය විසින් වැඩිදුරටත් සඳහන් කරන්නේ ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ආරක්ෂක අමාත්‍යාංශය මෙම අසත්‍ය චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන අතර, සත්‍ය හා යුක්තිය මෙන්ම ජාතියේ යහපැවත්ම සඳහා රජයේ නොසැලෙන කැපවීම ආරක්ෂක අමාත්‍යාංශය විසින් අවධාරණය කරන බවයි.