hit counter

2024 මැයි මස 08 වන බදාදා

2023 නොවැම්‍බර් 21, පෙ.ව. 12:03



මේ දිනවල කාලගුණයෙන් ජනතාවට නිරතුරුවම අනතුරු අඟවන්නේ හෙණ ගෙඩි වලින් ප්‍රවේශම් වන ලෙසයි.

නමුත් ජනතාව මොනතරම් ස්වභාවිකව පාත්වන හෙණ ගෙඩි වලින් ප්‍රවේශම් වුණත් දුර්දාන්ත පාලකයන්ගේ වරදින් ජනතාවගේ හිස මත පත් වන හෙණ ගෙඩිවලින් නම් ප්‍රවේශම් විය නොහැක.

ඒවා කුමන ආකාරයකින් හෝ ජනතාව සොයා පැමිණෙනු ඇත. මෙලෙස ජනතාවගේ හිස මතට මේ වසර මුලදී ම පාත් වූ හෙණගෙඩිය වූයේ විදුලි බිල වැඩිවීම නමැති හෙණ ගෙඩියයි.

ඊට පිටුපසින් පිළිවෙළින් ඉන්ධන මිල වැඩිවීම, ජල බිල වැඩිවීම, බඩු මිල ඉහළ යෑම, ගෑස් මිල වැඩිවීම, බදු බර ආදී දහසකුත් එකක් හෙණ ගෙඩි පාත්විය.

මේ එකක්වත් ජනතාවගේ වරදින් නොසැලකිල්ලෙන් ලැබුණු දේවල් නොව තක්කඩි පාලකයන්ගේ අදූරදර්ශී පාලනයේ බලමහිමයෙන් ලැබුණු දායාදයන්ය.

දැන් නැවතත් විදුලි බිල වැඩි වී තිබේ. ඒ 18% කිනි. මෙවර වැඩි මිල වැඩිකිරීම තනිකරම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලලේ වුවමනාව මත සිදුවූවකි.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබා ගත් ණය මුදලෙහි දෙවන වාරිකය මුදාහැරීමට නම් විදුලි බිල නැවත වතාවක් වැඩි කළ යුතු යැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කොන්දේසියක් පනවා තිබේ. මේ ඉටු කරන්නේ එම කොන්දේසිය.

එක් වසරක් තුළදී තුන්වන වරටත් විදුලි බිල වැඩිවීම ජනතාවට දරාගැනීමට නොහැක. ඒ තරමටම ජනතාව දැන් ණය වී හමාරය. කැප කළ යුතු සියල්ල කැප කර අවසන්ය.

ළඟ තිබූ රන් භාණ්ඩද දැන් සින්න වී හමාරය. දැන් ඉතිරි වී පවතින්නේ වැරහැලි වී ගිය ඇඳිවත පමණි. මේ දිනවල නිරන්තරව සමාජ මාධ්‍ය තුළ විනෝදාස්වාදය පිණිස පෝස්ටුවක් සංසරණය වේ. එහි දැක්වෙන්නේ සියලු බිල් ගෙවූ පසු වූ පුද්ගලයකු යට ඇඳුම පිටින් ගෙදර යන ආකාරයයි. තව ටික දිනක් යනවිට සැබෑවටම ජනතාවට අත්වනුයේ එම ඉරණමයි.

විදුලි බිල වැඩි කරන හැම අවස්ථාවකම බලශක්ති ඇමැතිවරයා ප්‍රකාශ කරන්නේ ඊළඟ මිල සංශෝධනයේ දී නියත වශයෙන්ම මිල පහත දමන බවත් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් ජනනය කරන විදුලිය සියයට 70 දක්වා ඉහළ නංවන බවයි. එසේම මෙයින් පසු ආයතනය පාඩු නොලබන බවත් විදුලිබල මණ්ඩලයේ විදුලි මාෆියාව නැත්තටම නැති කළ බවයි. මේ වාක්‍ය කිහිපය දැන් ජනතාවට කට පාඩම්ය. ඒ තරමටම මෙම වදන් වලින් ජනතාව රවටා ඇත.

චමිල ගමගේ මහතා විසින් පළ කරන ලද ලිපියක් පපහතින්,

කරන්ට් බිල ගැන සැලකිලිමත් වීමේදී පළමු පොයින්ට් 30ට රු 8.00 බැගින් මුලික ගාස්තුව රු 120 ක් ඒකට එකතුවෙනවා.

ඒ කීවෙ පොයින්ට් එකයි නම් පාවිච්චි කළ ගණන 120+8=128යි. පොයින්ට් 20ක් ගියානම් 120+(20×8)=රු 280 යි.

පොයින්ට් 30 පැන්නම පොයින්ට් එකක් 10 ගානෙ හැදෙන අතර මූලික ගාස්තුව 240ක් වනවා.

පොයින්ට් 31ක් ගියාම ගාන හදන්නෙ 240+(8×30)+10=490යි. නමුත් 60 පැන්නොත් ගාන සැරයි .

පොයින්ට් එකක් 16යි. මූලික ගාන 360යි. එනිසා අපි බලමු පොයින්ට් 60කට ගාන. 240+(8×30)+(10×30)= රු 780යි.

60ට පැනලා එකක් වැඩි වුනාම වෙනස බලන්න එක පොයින්ට් එකක් වැඩි කරලා 61කට හදමු,

360+(61×16)=360+976=රු1336යි.

දැක්කනෙ 60 සිට 61 වනවිට වෙනස 780 සිට 1336 යන හැටි.

පලමු 30ට 08 ගානෙ. දෙවැනි 30ට 10 ගානෙ හැදෙන්නෙ.

60ට කලින් එතනින් එහාට ගියාම පළමු පොයින්ට් එකේ සිටම රු 16යි.

එනිසා 60න් පහල බිල තියාගන්න උත්සාහ කරන්න.

90 දක්වා මේ රටාවට බිල සැකසෙන්නෙ.

91සිට 180 දක්වා එක පොයින්ට් එකකට රු.50 ක් අය කෙරෙනවා.

එහි ස්ථාවර ගාස්තුව රු 960ක් වනවා.

අපි පොයින්ට් 150කදී බිල බලමු.

එවිට 90 දක්වා පොයින්ට් එකකට රු.16 ගානෙ අයකෙරෙනවා.

61 සිට 90 දක්වා තිබූ ස්ථාවර ගාස්තුව 360 වෙනුවට, 90න් පසු 180 දක්වා ස්ථාවර ගාස්තුව වන රු. 960ක් එකතු වනවා.

පළමු පොයින්ට් 90ට පසු ඉතුරු පොයින්ට් 60ට 50 බැගිනි.

පොයින්ට්150=(90×16)+(60×50)+960 ලෙස වෙනවා.

90 පැන්නම 91 සිට ස්ථාවර ගාස්තුව රු 960යි.

පොයින්ට් 180 සිට ඉදිරියට ස්ථාවර ගාස්තුව රු 1500යි. එක පොයින්ට් එකකට රුපියල් 75යි.

උදාහරණයක් විදියට පොයින්ට් 200ක් ගතහොත්, 90 දක්වා රු 16 ගානෙ. 180 දක්වා රු 50 ගානෙ. 180න් පසු ඉතිරි 20ට 75 ගානෙ අයකරනවා. භාවිතාකර ඇති පොයින්ට් ගණනට අදාළ ස්ථාවර ගාස්තුව එකතු වෙනවා.

1500+(90×16)+(90×50)+(20×75) =8940

එම නිසා වොට් ගාන වැඩි උපකරණ භාවිතය අඩු කරන්න පුරුදු වන්න.

මේ පෝස්ට් එකට තවකරුණක් ඇතුළත් කරන්න හිතුණා.

ඒ තමයි පොයින්ට් කියන්නෙ මොකද්ද කියලා.

විදුලිය මනින්නෙ වෝල්ට්, ඇම්පියර්, වොට්ස් කියන ඒවගෙන්.

වෝල්ට් × ඇම්පියර් = වොට්ස් වෙනවා.

අපි භාවිත කරන උපකරණවලත් අදාළ වොට් ගණන සඳහන් කරලා තියෙනවා.

උදාහරණයකට 100w බල්බ් එකක් ගමු.

මෙය පැයක් දැල්වුවහොත් 100w පැය එකෙන් වැඩිකරාම 100wh (වොට්ස් පැය ) කියනවා.

මේ බල්බය පැය 10ක් දැල්වුවහොත් 100w×10h වෙනවා එවිට 1000wh වෙනවා.

ඒ කියන්නෙ 1kWh (1කිලෝවොට් පැය) ක්. ඒකට තමයි පොයින්ට් එකක් කියන්නෙ.

දැන් ඔබට තේරෙනවා 1000w හීටර්, අයන් වගේ ඒවා පැයක් භාවිත කළාම පොයින්ට් එකක් යනවා.

10w LED බල්බ් එකක් පාවිච්චි කළොත් කිලෝ වොට් පැය එකක් වෙන්න පැය 100ක් යන්න ඕනෙ.

එනිසා වොට් අගය වැඩි උපකරණ භාවිත කරන විට ටිකක් කල්පනාවෙන් භාවිත කරන්න.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: