hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 මැයි 24, පෙ.ව. 11:12



ඉදිරියේදී ආහාර අර්බුදයකට මුහුණ දීමට සිදුවන බවට මේවනවිටත් රජය විසින් ප්‍රකාශ කර තිබෙනවා.

මේ අතර රටේ පවතින සහල් සංචිතය ප්‍රමාණවත් වන්නේ සැප්තැම්බර් මැද දක්වා පමණක් බව අග්‍රාමාත්‍යවරයා පත් කළ අත්‍යවශ්‍ය  භාණ්ඩ හා සේවා පිළිබඳ සොයාබැලීමේ කමිටුවේ දී ඊයේ (23) අනාවරණය වී තිබෙනවා.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී මෙම කමිටුව රැස් වී තිබුණා.

හාල් ඉවරයි

ලංකාවෙි මාසික සහල් අවශ්‍යතාව මෙට්‍රික් ටොන් ලක්ෂ දෙකක් වනවා.

සැප්තැම්බර් මැද වන විට දැනට පවතින සහල් තොගය අවසන් වන බවයි එම කමිටුවේ දී ප්‍රකාශයට පත් කර තිබෙන්නේ.

ආහාර හිඟවීමේ අර්බුදයට මුහුණදීම සඳහා විද්‍යාත්මක හා සැලසුම් සහගත වගා සංග්‍රාමයක් ආරම්භ කළ යුතු බව එහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර තිබෙනවා.

අගමැතිගෙන් උපදෙස්

ආහාර භෝග, පශු සම්පත් අපනයන භෝග, පොහොර, බීජ සහ ඉන්ධන ගැටලු පිළිබඳව එහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර ඒවාට මුහුණදීම සඳහා ගත යුතු කෙටිකාලීන හා දිර්ඝ කාලීන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් අගමැතිවරයා කෘෂිකර්ම අමාත්‍යංශය ඇතුළු ඊට අනුබද්ධ ආයතන වල නිලධාරීන්ට උපදෙස් දී තිබෙන බවයි වාර්තා වන්නේ.

ඊලඟ කන්නයේ අස්වනු නෙලීමට හැකිවන්නේ පෙබරවාරි මාසයේ නිසා එතෙක් ඇති විය ආහාර හිඟයට කඩිනම් විසඳුම් සෙවිය යුතු බව අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙනවා.

විශේෂයෙන් නාගරික ප්‍රදේශ වලට ආහාර සැපයීම පිලිබඳ අවධානය යොමු කළ යුතු බවයි ඔහු සඳහන් කළේ.

කෑම දෙන්න කමිටුවක්

ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා වරාය හා නාවික කටයුතු පිළිබඳ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ  ප්‍රධානත්වයෙන් කමිටුවක් ද පත් කර තිබෙනවා. 

බස්නාහිර හා දකුණු පලාත්වල වගා සංග්‍රාමය හා ආහාර සැපයීමේ කටයුතු අමාත්‍ය ප්‍රසන්න රණතුංග, පාර්ලිමේන්තු මන්ත්‍රී  මධුර විතාන, විපක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් සහ එජාප සභාපති වජිර අබේවර්ධන සහ කොළඹ පුරපතිනී රොසි සේනානායක මහත්මිය ඇතුළත් කමිටුවක් පත් කර තිබෙනවා.

එළවළු මාළුත් ගණන්

පවතින ඉන්ධන අර්බුදය හමුවේ එළවළු සහ මාළු මිල ගණන් විශාල වශයෙන් ඉහළ ගොස් තිබෙන්නේ පාරිභෝගිකයන්ට දරාගත නොහැකි මට්ටමින්.

මේ වන විට එළවළු කිලෝවක තොග මිල රුපියල් 500කටත් වැඩි මිලක් නියම වී තිබෙන අතර, ඇතැම් එළවළු වර්ගවල සිල්ලර මිල රුපියල් 1,000ක් පමණ වනවා.

මේ අතර මාළු මිල ගණන් ද ඉහළ ගොස් ඇති අතර තලපත් කිලෝවක් රුපියල් රුපියල් 2,400ත් 2,800ත් අතර, කෙලවල්ලන් කිලෝවක් රුපියල් 2,200ක්, පරා මාළු කිලෝවක් රුපියල් 1,800ත් 2,000ත් අතර, ඉස්සන් කිලෝවක් රුපියල් 1,600ත් 1,800ත් අතර, සාලයන් කිලෝවක් රුපියල් 800ක් වැනි ඉහළ මිල ගණන් යටතේ අලෙවි කෙරුණා.

සැපයුමත් අඩුයි – අලෙවියත් අඩුයි

සීමාසහිත සමස්ත ලංකා විශේෂ ආර්ථික මධ්‍යස්ථාන හා මැනිං වෙළඳ සංගමයේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පැවසුවේ පොහොර නොමැතිවීම නිසා ගොවි ජනතාව වගා කටයුතුවලින් ඈත්වීමෙන් අස්වනු අඩුවීම මෙන්ම ඉන්ධන ගැටලුව හේතුවෙන් ප්‍රවාහන කටයුතුවලට බාධා ඇතිවීම හේතුවෙන් මෙලෙස මිල ගණන් ඉහළ යාමට හේතු වූ බවයි.

මේ හේතුවෙන් වෙළඳපලට පැමිණෙන එළවළු ප්‍රමාණය අඩුවී ඇති අතරම, අලෙවි වන ප්‍රමාණයන් ද අඩුවී ඇතැයි ඔහු පෙන්වා දෙනවා.

ගෑස් නොමැතිවීම හේතුවෙන් කුඩා ආපන ශාලා, හෝටල් වැසීයාම නිසා ද එළවළු ආදිය අලෙවිවන ප්‍රමාණය අඩුව ඇති බවත් එම හෝටල් විවෘතවීමෙන් පසු රට තුළ දැඩි එළවළු හිඟයක් මතුවිය හැකි බවත් සභාපතිවරයා පවසනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: