hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2023 සැප්‍තැම්‍බර් 21, ප.ව. 6:31



ඉකුත් වසරේ හිටපු ජනාධිපතිවරයා ඇතුළු පැවති ආණ්ඩුව පළවා හැරීම සඳහා මතු වූ මහජන අරගලයේ දී නිවාස හානිවූ ඇමතිවරුන්ට වන්දි ලබාදෙන්නේ නම්, එහි තීව්‍රත ම අවස්ථාව පෙන්වූ මැයි 09 වැනි දා ගිනිබත් වූ බස්රථවලට ද වන්දි ලබාදිය යුතු බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති ගැමුණු විජේරත්න මහතා කියා සිටින්නේ, අදාළ දිනයේ දී පෞද්ගලික බස් රථ 50කට ආසන්න ප්‍රමාණයක් සම්පූර්ණයෙන් ම දැවී විනාශ වූ බවත්, තවත් බස් රථ 50ක් පමණ අර්ධ වශයෙන් විනාශ වූ බවයි.

එම හානි සඳහා ඒවා රක්ෂණය කර තිබූ සමාගම්වලින් ප්‍රමාණවත් මුදලක් වන්දි ලෙස නොලැබුණ බවත්, නමුත් එදින දේපල හානිවලට ලක් වූ මැති ඇමතිවරුන්ට වන්දි ලබා දීමට කටයුතු කර ඇති බවත් ඔහු පවසනවා.

ඒ අනුව බස් රථයකට මිලියන 10ක් බැගින් හානි වූ බස් රථ 50 සඳහා රුපියල් මිලියන 50ක වන්දි මුදලක් ගෙවන ලෙසයි ගැමුණු විජේරත්න මහතා ඉල්ලා සිටින්නේ.

මේ අතර පැවති පාලනයට එරෙහිව මහජන අරගලය ක්‍රියාත්මක වූ ඉකුත් වසරේ මාර්තු 31 සිට ජුලි 22 දක්වා කාලය තුළ දී සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් එවක ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මෙන් ම විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ද දේපල හානි සිදු වූ අතර, එම දේපළ විනාශයන් වෙනුවෙන් රජයෙන් ගෙවීමට නියමිත වන්දි මුදල රුපියල් මිලියන 1,414 ක් දක්වා ඉහළ ගොස් ඇති බව පසුගිය දා වාර්තා වුණා.

එම වන්දි මුදලින් මේ වන විටත් රුපියල් මිලියන 714ක මුදලක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 31 දෙනෙකු සඳහා ගෙවා අවසන් බවයි වාර්තා වුණේ.