hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2022 අගෝස්‍තු 02, පෙ.ව. 10:33



නෝටන්බ්‍රිජ් ප්‍රදේශයට ඊයේ (01) දවස පුරා ඇද හැලුණු අධික වර්ෂාවත් සමග නිවාස දෙකක් නායගොස් එක් නිවසක සිටි තිදරු පියෙකු පස් කන්දට යට වී ජීවිතක්ෂයට පත් වී ඇති බව නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතා පැවසුවා.

මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ නෝටන්බ්‍රිජ් විදුලිපුර ටැප්ලෝ ජනපදයේ පදිංචි සංජිව විමලවිර නැමති 40 හැවිරිදි තිදරු පියෙක්.

අද (01) පස්වරු 1.00ට පමණ නායයාමේ ලක්ෂණ මතු වූ නිසා මරණකරු නිවසේ තිබු බඩු බාහිරාදිය ඉවත් කරමින් සිටියදී නිවාස දෙකම එකවරම නායගොස් ඇති බවයි සහකාර අධ්‍යක්ෂකවරයා කියා සිටියේ.

නිවාස දෙකම නාය යන අවස්ථාවේ එම නිවාස වල වෙනත් අය කිසිවෙක් නොසිටි බවත්, මිය ගිය තිදරු පියා ලක්ෂපාන යුධ හමුදා කදවුරේ සේවය කරන යුධ හමුදා භටයෙකුගේ පියෙකු බවයි නෝටන්බ්‍රිජ් පොලිසිය කියා සිටියේ.

නායයාමෙන් පස් කන්දට යට වී තිදරු පියාගේ සිරුර ලක්ෂපාන යුධ හමුදා කදවුරේ භට පිරිස් විසින් දැඩි පරිශ්‍රමයක් දරා ඊයේ (01) රාත්‍රියේ ගොඩගෙන සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර තිබෙනවා.

නායගිය ස්ථානයෙන් නෝටන්බ්‍රිජ් ගිනිගත්හේන ප්‍රධාන මාර්ගයේ කොටසක් සම්පුර්ණයෙන්ම ගිලා බැස ඇති අතර එම මාර්ගයට යථා තත්ත්යට පත් කරන තෙක් එම මාර්ගයේ ගමන් ගන්නා රථ වාහන විකල්ප මාර්ග ඔස්සේ ධාවනය කරන ලෙස නෝටන්බ්‍රිජ් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.

හැටන් – රංජිත් රාජපක්ෂ