hit counter

2025 මැයි මස 09 වන සිකුරාදා

2023 මාර්තු 13, පෙ.ව. 9:46



සෞඛ්‍ය අමාත්‍යාංශයේ වගකිව යුතු ඉහළ නිලධාරීන්ගේ නොසැලකිල්ල හා අත්‍යවශ්‍යයෙන්ම ඉටු කළ යුතු රාජකාරි කටයුතු පමා කිරීම කොළඹ ජාතික රෝහලේ සී.ටී. සහ පෙට් ස්කෑන් පරීක්ෂණ මාස ගණනක් තිස්සේ ප්‍රමාද වීමට හේතුව බව එම අංශවල රාජකාරියේ යෙදෙන විකිරණ විශේෂඥ වෛද්‍යවරු පෙන්වා දෙනවා.

කොළඹ ජාතික රෝහලේ ස්නායු ක්‍ෂති අංශයේ සීටී ස්කෑන් යන්ත්‍රය මාස ගණනාවක් තිස්සේ ඇන හිට තිබීම නිසා එම අංශයේ ප්‍රධාන නිලධාරීන් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂවරයා වෙත ලිඛිතවත් වාචිකවත් අවස්ථා කිහිපයකදීම දැනුම් දී ඇතත් සී.ටී යන්ත්‍රයට අවශ්‍ය උපකරණයක් ගෙන්වා ගැනීමට අදාළ අස්සන ප්‍රමාද වීම මත මේ තත්ත්වය උදා වී තිබෙන බව ජාතික රෝහලේ විකිරණ වෛද්‍ය විශේෂඥයෝ පෙන්වා දෙනවා.

එසේම අමාත්‍යාංශයේ ලේකම්වරයාද මේ කාර්යයේදී සිය නිල කටයුතු ප්‍රමාද කර තිබෙන බවද ඔවුහු පෙන්වා දෙනවා.

පසුව අවශ්‍ය උපකරණ කොටස එම යන්ත්‍රය නිෂ්පාදනය කළ ආයතනයට දැනුම් දී පසුගියදා අඩු යන්ත්‍ර කොටස් ගුවන් මඟින් ගෙන්වා ගැනීමට කටයුතු කර තිබෙනවා.

දැනට දින දෙකකට පෙර එම යන්ත්‍ර කොටස් සවි කිරීමේ කටයුතු ආරම්භ කොට තිබෙන බව වාර්තා වෙනවා.

මෙම සී.ටී. යන්ත්‍රය මාස 11ක් තිස්සේ අක්‍රියව පැවැතුණා. 

විශේෂයෙන් මෙම යන්ත්‍ර ක්‍රියාවිරහිත වීම ගැන අදාළ විශේෂඥ වෛද්‍යවරුන් අමාත්‍යාංශ ලේකම්වරයා හමුවීමට අවස්ථා කිහිපයකදී උත්සාහ කළත් ඔහු සාකච්ඡාවල යෙදී සිටින බව කියමින් හමුවීමට අවස්ථාවක් නොදුන් බව විකිරණ අංශයේ වෛද්‍යවරයෙක් පුවත්පතකට පැවැසුවා. 

සී.ටී. ස්කෑන් යන්ත්‍රය රෝහලක හෘදය වස්තුව හා සමාන බවත්, එම යන්ත්‍රයේ පරීක්ෂණවලට රෝගියකු ට්‍රොලියකින් ගෙන යෑමට රෝහල තුළ මීටර් 600ක පමණ දුරක් යෑමට සිදුව තිබෙන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය මෙම යන්ත්‍ර සම්බන්ධයෙන්  කටයුතු කරන ආකාරය ගැන වෛද්‍යවරුන් දැඩි කලකිරීමකට පත්ව සිටින බවත් ඔහු කියා සිටියා.

පෙට් ස්කෑන් යන්ත්‍රය සඳහා ඉන්දියාවෙන් ගෙන්වා විකිරණශීලී මූලද්‍රව්‍ය සඳහා වාරික වශයෙන් මුදල් නොගෙවීම හේතුවෙන් මේ වන විට එම ද්‍රව්‍ය සඳහා රුපියල් මිලියන 40 ගෙවීමට තිබෙන බවත් එම තත්ත්වය නිසා මෙම ස්කෑන් යන්ත්‍රය මාස දෙකක පමණ කාලයක් පරීක්‍ෂණ ඇනහිට ඇති බවයි.

කෙනකු පිළිකා රෝගයෙන් පෙළෙන්නේ දැයි සැකහැර දැනගැනීමට මෙම යන්ත්‍රය මඟින් මූලික පරික්‍ෂණය කිරීමට ලක්ෂ 2 1 /2 පමණ මුදලක් වැය වන බවත්, අහිංසක රෝගියකුට එතරම් මුදලක් වැය කළ නොහැකි තත්ත්වයක් පැවැතීම මෙන්ම කඩිනමින් එම පරීක්ෂණය කර ගන්නට නොලැබීම රෝගියා මරණයට ළංවීමක් වන බවද විකිරණ අංශයේ වෛද්‍ය විශේෂඥයෙක් පැවැසුවා.