hit counter

2025 ජනවාරි මස 27 වන සඳුදා

2023 ජනවාරි 21, ප.ව. 2:25



විදුලි බිල වැඩි කිරීම සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිසම විසින් ගත් සාමූහික තීරණය මේ වන විට වෙනස් වී තිබෙන අතර තමන් නොමැතිව සෙසු සාමාජිකයින් තිදෙනා ජනධිපතිවරයා මුණගැසීමෙන් අනතුරුව එම වෙනස සිදුව ඇති බව සභාපති ජනක රත්නායක මහතා පවසනවා.

විදුලි බිල වැඩි කිරීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය විසින් ඉදිරිපත් කර තිබෙන යෝජනාව ඉවතලා විදුලි බල මණ්ඩලයේ යෝජනාව අනුව කටයුතු කිරීමට මහජන උපයෝගීතා කොමිසම පසුගිය 12 වැනිදා සාමූහික තීරණයක් ගෙන තිබුණු බවයි රත්නායක මහතා සඳහන් කරන්නේ.

පසුගිය 19 වැනිදා පාර්ලිමේන්තුවේ පැවති ජාතික සභාවේදී එම බෙදීම අනාවරණය වූ බවත් කොමිසමේ සෙසු සාමාජිකයින් දැන් පවසන්නේ කැබිනට් තීරණය අනුව ක්‍රියාත්මක විය යුතු බවත් යැයි මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා කියා සිටියි.

කෙසේවෙතත් පාරිභෝගිකයින් ආරක්ෂා කර ගැනීමට තිබෙන ස්වාධීන කොමිසමක් දේශපාලන බලපෑම්වලට යට වීම වැරදි පූර්වාදර්ශයක වන හෙයින් මෙය නිරාකරණය කරගැනීමට තමන් පෞද්ගලිකවම නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවද ඔහු අවධාරණය කරයි.

කැබිනට් මණ්ඩල තීරණය ක්‍රියාත්මක වුවහොත් මෙරට දැඩි ආර්ථික අපහසුතාවෙන් පෙලෙන ලක්ෂ 50ක පමණ විදුලි පාරිභෝගිකයින්ට දැඩි අසාධාරණයක් සිදුවන බවත් වැඩි අයකිරීමක් කළ යුත්තේ විදුලිය අඩුවෙන් පරිභෝජනය කරන එම ජනතාවගෙන් නොව වැඩියෙන් පරිභෝජනය කරන කණ්ඩායම් වෙතින් බවද හෙතෙම වැඩිදුරටත් කියා සිටියි.