hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 ජූලි 20, පෙ.ව. 12:02



මත්ද්‍රව්‍ය ජාවාරම සහ පාතාල මර්දනයට ඇතැම් නීතිඥයන් බාධාවක් වී ඇතැයි මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා පැවසීය.

පොලිස්පතිවරයාට එරෙහිව නඩු පැවරීමත් එහි එක් කොටසක් බවද හෙතෙම කීය.

මත්ද්‍රව්‍ය හා පාතාල චෝදනා එල්ල වී ඇති කංජිපානි ඉම්රාන්, ගනේමුල්ල සංජීව වැනි අය අධිකරණයෙන් ඇප ලබාගෙන් බෝට්ටුවට නැංවූ හැටි අත්අඩංගුවට පත් අයගෙන් අනාවරණය කරගෙන තියෙන බවද ඇමැතිවරයා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ පැවති යුක්තියේ මෙහෙයුම සම්බන්ධයෙන් මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසීය.

මෙවැනි නීතිඥ පිරිස හතර පස්දෙනෙක් බවත් රුපියල් මිලියන ගණන් ලබාදුන්නත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වෙනුවෙන් පෙනී නොසිටින අය සිටින බවත් ඇමැතිවරයා කීය. රට හදන්න උත්සාහ දරන අයද මේවා පිටිපස සිටින බවද ඇමැතිවරයා කීය.

ක්ලබ් වසන්ත ඝාතනය මදුෂ්ගේ මුදල් නොදීම නිසා සිදුවූවක් බවට ප්‍රචාරය වුවත් ක්ලබ් වසන්ත මියයන විට රටවටේ ණය වී සිටි අයකු බව සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි ද කී ඇමැතිවරයා මධුෂ් මෙරටට එවීම සිදුවූ ආකාරය මීට පෙර වාර්තා වූ බවද කීය. ක්ලබ් වසන්ත ඝාතනයෙන් පසු මධුෂ් සම්බන්ධ කරගෙන සමාජ මාධ්‍යවල විවිධ දේවල් ප්‍රකාශ වුවත් පොලිසිය සිදුකළ විමර්ශනවලදී එවැනි දේවල් තහවුරු වී නැතැයි ද හෙතෙම කීය. මධුෂ්ගේ මුදල් මෙරට විවිධ පුද්ගලයන්ට ලබාදී ඇති බවට ප්‍රකාශ වුවත් එවැනි ප්‍රකාශ තහවුරු කර ගැනීම සඳහා සාධාරණ විමර්ශනයක් කිරීමට කිසිවකු නිවැරදි තොරතුරු ලබාදී නැතැයි ද හෙතෙම පැවසීය. කවුරුන්ගාව හෝ මධුෂ්ගේ මුදල් තිබෙන බවට තහවුරු කර තොරතුරු ලබාදිය හැකිනම් ඕනෑම තරාතිරමක අයෙකුට එරෙහිව වුවද විමර්ශන සිදුකරන බවද කීය.

ක්ලබ් වසන්ත ඝාතනයේ ප්‍රධාන සැකකරුවන් දෙදෙනාට අමතරව අනෙකුත් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවත් ප්‍රධාන සැකකරුවන් දෙදෙනා තවම රට තුළ සිටින බවට විශ්වාස කරන බවත් ඇමැතිවරයා කීය. ඇඹිලිපිටිය ඝාතනය සිද්ධිය, අම්බලන්ගොඩ ඝාතන සිද්ධිය යන සිද්ධිවල සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවත් ඔහු කීය. පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකා මෙහෙයුම් තවත් වඩිකර ඇති බවත් අවශ්‍ය වුවහොත් ත්‍රිවිධ හමුදා සහාය ලබාගන්නා බවත් ඇමැතිවරයා පැවසීය.

එල්.ටී.ටී.ඊ. යුද්ධය අවසන් වීමෙන් පසු ගිනිඅවි රටපුරා තිබෙන බවත් ඒවා භාරදෙන ලෙස පොදු සමාව යටතේ අවස්ථා කිහිපයකදී ඉල්ලිම් කළ බවත් ඇමැතිවරයා කීය. මේ වනවිට විදෙස් ගතවී සිටින පාතාල සමාජිකයන් ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවත් ඇතැම් පාතාල සාමාජිකයන් විවිධ රටවල ඉන්නා බවට ප්‍රකාශ වුවත් ඔවුන් සිටිනා රටවල් ගැන පොලිසිය දන්නා බවත් හෙතෙම කීය.

අතුරුගිරියේදී ක්ලබ් වසන්ත ඝාතන සිද්ධියේ ටැටූ ශිල්පියාගේ පාපෝච්චාරණය මාධ්‍යවලට ලබාදුන් බවට චෝදනා එල්ල වී ඇති පොලිස් නිලධාරීන්ට තමා දෝෂාරෝපණය කළත් ඔවුන්ට එරෙහිව කිසිදු විනය ක්‍රියාමාර්ගයක් නොගන්නා බවත් ඇමැතිවරයා කීය. සිද්ධිය සිදුවූ අවස්ථාවේ සිට විමර්ශන කණ්ඩායම් සමග මාධ්‍යවේදීන් ද රැඳී සිටි බවත් එහි ප්‍රතිඵලයක් ලෙස සැකකරුගේ පාපෝච්චාරණය මාධ්‍යයට ගොස් ඇති බවත් ඒ මහතා පැවසීය.

කොළඹ අපරාධ කොට්ඨාසයේ සිට විදෙස් රටකට ගොස් සිටින පොලිස් පරීක්ෂකවරයකු කංජිපානි ගේනවා දියහැකි බවට සමාජ මාධ්‍යය ඔස්සේ ප්‍රකාශයක් කර ඇති බවත්, එම ප්‍රකාශ පිටිපස්සේ ගියොත් අපිත් පිස්සෝ වන බවද ඇමැතිවරයා කීය. සමාජ මාධ්‍යවල මේවා ප්‍රචාරණය කරන පිරිස් බොරු දදා මුදල් හම්බ කරගන්නා බවත් හැකිනම් කංජිපානි ගෙන්වා දෙන ලෙස පොලිස් පරීක්ෂකවරයාට පවසන බවත් ඇමැතිවරයා කීය.

යුක්තිය මෙහෙයුම පසුගිය වසරේ (2023) දෙසැම්බර් 17 වැනිදා ආරම්භ කළ බවත් මේ වනවිට රුපියල් බිලියන 19ක මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගෙන ඇති බවත් ඇමැතිවරයා කීය. එම කාලය තුළ ටී. 56, පිස්තෝල, රිවෝල්වර්, බෝර 12 ගිනිඅවි 955ක් අත්අඩංගුවට ගෙන ඇතැයි ද හෙතෙම කීය.

මෙම මාධ්‍ය හමුවට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සහ ආගමන විගමන පාලක ජෙනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා ද එක්ව සිටියහ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: