hit counter

2024 ජූලි මස 07 වන ඉරිදා

2024 ජූනි 22, පෙ.ව. 12:04



සෞඛ්‍ය අංශ රටේ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, උණ තත්ත්වයක් හෝ මී උණ රෝග ලක්ෂණ ඇත්නම් හැකි ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්නා ලෙසයි.

ගතවූ මාස 6 තුළ පමණක් මී උණ රෝගීන් 5,000ක් මෙරටින් වාර්තා වී ඇති බවත් වෙල් උණ, පතල් උණ හෝ මඩ උණ ලෙසින් හැඳින්වෙන මී උණ රෝගය වෛද්‍ය විද්‍යාවට අනුව ලෙප්ටොස්පයිරෝසිස් (Leptospirosis) ලෙස නම්කර ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.

මෙම මී උණ රෝගයට හේතු වන බැක්ටීරියාව ප්‍රධාන වශයෙන්ම මීයන්ගේ මුත්‍රාවල අඩංගුවන අතර එය මේ වනවිට ගවයන්ගේ සුනඛයින් සහ ඌරන්ගේ මළ සහ මුත්‍රාවලද අන්තර්ගත බවට සොයාගෙන ඇති අතර රෝගකාරක බැක්ටීරියාව සහිත අදාළ සත්වයන්ගේ මුත්‍රා ජලයට එක්වීමෙන් පසුව පාදවල තිබෙන තුවාල මෙන්ම ඇස් හා මුඛයේ පවතින ශ්ලේෂ්මල පටල මඟින් සිරුරට ඇතුළු වේ.

මෙම මී උණ හේතුවෙන් වසර පුරාම මරණ 100ක් හෝ එවැනි ඉහළ සංඛ්‍යාවක් වාර්තා වන බවත් බොහෝ අවස්ථාවලදී ප්‍රතිකාරවලට යොමු නොවූ පිරිස මෙම රෝගී තත්ත්වයෙන් මියයන බවත් මී උණට ඖෂධ ඇති බවත් නිසි ප්‍රතිකාර ලබාගැනීමෙන් මෙම රෝගය සුව කළ හැකි බවද වසංගත රෝග විද්‍යා අංශයේ, වසංගත රෝග විශේෂඥ වෛද්‍ය තුෂානි දබරේරා සදහන් කළාය.

කකුල් කැපී හෝ වෙනත් තුවාල ඇති පුද්ගලයින්ට මෙහි අවධානම වැඩි බවත් දුෂිත ජලය මඟින් මුහුණ, මුඛය හෝ නාසය සේදීමෙන් බැක්ටීරියාව ශරීරගත විය හැකි බවත් එම රෝග ලක්ෂණ ඇත්නම් කඩිනමින් ප්‍රතිකාරවලට යොමුවන ලෙසද විශේෂඥ වෛද්‍ය තුෂානි දබරේරා සදහන් කළාය.

තද උණ, ඇස් රතු වීම, බඩේ කැක්කුම, කැස්ස, ලප මතුවීම සහ ප්‍රධාන රෝග ලක්ෂණය ලෙස මස්පිඩුවල වේදනාව, කෙණ්ඩවල වේදනාව බැවින් එම ලක්ෂණ ඇත්නම් වහාම වෛද්‍යවරයෙක් හමුවන ලෙස රාගම උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය, කෝලිත ජයසුන්දර සදහන් කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: