hit counter

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා

2022 ජූනි 12, ප.ව. 5:08



භාවිතයෙන් තොරව අත්හැර දමා තිබෙන රජයේ ඉඩම් තුළ වගා කිරීමේ නව වැඩසටහනක් දියත් කොට ඇතැයි යුද හමුදාපති ලුතිනන් ජනරාල් විකුම් ලියනගේ මහතා පවසයි.

මහජනයා වෙනුවෙන් වැඩ කිරීමට ඕනෑම මොහොතක සූදානමින් සිටින ශ්‍රී ලංකා යුද හමුදාව, වගා සංග්‍රාමයකට සූදානම් වී සිටින බව ද ඒ මහතා පැවසුවා.

ශ්‍රී ලංකා යුද හමුදාවේ 24 වන යුද හමුදාපතිධූරයට පත් ලුතිනන් ජනරාල් විකුම් ලියනගේ මහතා ඊයේ (11) මහනුවරට පැමිණ ශ්‍රී දළදා මාලිගාවේදී දන්ත ධාතූන් වහන්සේ වැද පුදා ගත්තා.

දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් නව යුද හමුදාපතිවරයා පිළිගත් අතර එහිදී ඒ මහතා දන්ත ධාතූන් වහන්සේ වන්දනා කිරීමට එක් වුණා.

අස්ගිරි මහා විහාරයට පැමිණි යුද හමුදාපතිවරයා එහිදී අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන හිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තා.

මහා නායක හිමියන් සහ අස්ගිරි පාර්ශවයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික ආචාර්ය මුරුද්දෙණියේ ධම්මරතන හිමියන් යුද හමුදාපතිවරයාට ආශිර්වාද පිරිත් සඤ්ඣායනා කළා.

අනතුරුව මල්වතු මහා විහාරයට පැමිණි යුද හමුදාපතිවරයා මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධර්ථ සුමංගල හිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තා.

මහා නායක හිමියන් බැහැ දැකීමෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් පළ කළ යුද හමුදාපතිවරයා, ශ්‍රී ලංකා යුද හමුදාව වගා කටයුතු සම්බන්ධ අධ්‍යක්ෂ මණ්ඩලයකින් සමන්විත බවත් එහි භට පිරිස් මෙන්ම අමතර භට පිරිස් ද යොදවා වගා වැඩසටහන ක්‍රියාත්මක කරන බව සඳහන් කළා.

යුද හමුදාව වගා කටයුතු සඳහා සහයෝගය ලබාදීම කාලෝචිත බව මල්වතු පාර්ශවයේ මහා නායක හිමියන් ප්‍රකාශ කළ බව ද යුද හමුදාපතිවරයා පැවසුවා.

වසරකට ශ්‍රී ලංකා යුද හමුදාවේ සැලකිය යුතු පිරිසක් විශ්‍රාම යන බව කී ඒ මහතා ඊට සමානව බඳවා ගැනීම්, පුහුණුවීම් හා විදේශීය පුහුණු කටයුතු සිදුකරන බව ද සඳහන් කළා.

විශ්‍රාමික යුද හමුදා සෙබළුන් හා ආබාධිත සෙබළුන්ගේ සුබ සාධනය වෙනුවෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව ද යුද හමුදාපති ලුතිනන් ජනරාල් විකුම් ලියනගේ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකා යුද හමුදාවේ මධ්‍යම පළාත් 111 සේනාංකාධිපති බ්‍රිගේඩියර් රෝහිත බණ්ඩාර රත්නායක මහතා ඇතුලු යුද හමුදා නිලධාරීන් පිරිසක් ද මෙම අවස්ථාවට එක් වුණා.