hit counter

2025 සැප්‍තැම්‍බර් මස 05 වන සිකුරාදා

2025 සැප්‍තැම්‍බර් 06, පෙ.ව. 12:08



ප්‍රභාකරන් මියගිය දිනය ජනතාව දන්නා වුවද මිහිඳු හිමියන්ගේ පරිනිර්වාණ දිනය ජනතාව නොදන්නා බැවින් එය ගැසට් කිරීමටත් එම පරිනිර්වාණ දිනය මෙරට දින දර්ශනයට ඇතුළත් කිරීමට කටයුතු කරන ලෙස මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමිපාණන් ඉල්ලීමක් කරනු ලැබීය.

රටේ සම්පත් සොරාකාපු දූෂිතයන්ට දඬුවම් දෙමින් ඔවුන් සොරාකාපු ධනය යළි රජයට ලබාගත යුතු බවත්, ඔවුන් සිරගත කිරීමෙන් තවත් රජයේ මුදල් වියදම් වන බවත්, එම දේශපාලනඥයන්ට යළිත් දේශපාලනයට පිවිසිය නොහැකි පරිදි ඔවුන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කළ යුතු බවත් නාහිමිපාණන් වහන්සේ සඳහන් කළහ.

උන්වහන්සේ මේ බව පැවසුවේ ජනාධිපතිතුමන්ගේ නියෝගයකට අනුව මිහින්තලේ රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් මිහින්තලය පූජා නගර සංවර්ධන සැලැස්ම පිළිබඳව සාකච්ඡාමය වැඩසටහනක් ඇමැති වසන්ත සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මිහින්තලය පූජා නගර සංවර්ධන කමිටුව පෙරේදා (03 දා) රැස්වූ අවස්ථාවේදීය.

මිහින්තලය රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි ඇමැති වසන්ත සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කමිටුව රැස්වූ අතර මෙම අවස්ථාවට ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී භාග්‍ය ශ්‍රි හේරත්, දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් විශාල පිරිසක් එක්ව සිටියහ.

මෙහිදී ඇමැතිවරයා කියා සිටියේ පෞරාණිකත්වය ආරක්ෂා කරමින් පුරාවිද්‍යා නීති රාමුව තුළ සිටිමින් වියැකී යන උරුමය රැක ගැනීම සියලු දෙනාගේ වගකීම බවත්, ඒ සඳහා රජය මැදිහත් වන බවත් ය.

උත්සවයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ වසන්ත සමරසිංහ මහතා, ජනාධිපතිවරයාගේ නියෝගයකට අනුව මිහින්තලය පූජා නගරය කේන්ද්‍ර කර ගනිමින් මිහින්තලය සංවර්ධන සැලැස්ම ඓතිහාසික උරුමයන්ගේ ප්‍රෞඩත්වය රැගෙන ආකාරයට සංචාරක ආකර්ෂණය දිනාගත හැකි අයුරින් නගරය සංවර්ධනය කිරීම රජයේ අරමුණ බව පැවසීය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: