hit counter

2025 නොවැම්‍බර් මස 05 වන බදාදා

2025 නොවැම්‍බර් 06, පෙ.ව. 12:06



සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් රාජ්‍ය අංශයේ ක්ෂේත්‍ර මට්ටමේ නිලධාරීන් සතුව දැනට පවතින වාහන සමූහය අතිශයින්ම පැරණි සහ අබලන් තත්ත්වයේ පවතින බව ප්‍රකාශ කරයි.

ඒ අනුව අමාත්‍යවරයාගේ අදහස වන්නේ මෙම දුර්වල ප්‍රවාහන පහසුකම් නිසා බලාපොරොත්තු වන සංවර්ධන ඉලක්කයන් වෙත ළඟා වීම ඔවුන්ට සැලකිය යුතු අභියෝගයක් වී ඇති බවයි.

අමාත්‍යවරයා මේ කරුණු සඳහන් කළේ රට මුහුණ දී සිටින වර්තමාන මූල්‍ය අර්බුදය මධ්‍යයේ, රජය මඟින් කැබ් රථ 1,750ක් මිලදී ගැනීමේ තීරණය සම්බන්ධයෙන් සහ එහි ටෙන්ඩර් ක්‍රියාවලියේ විනිවිදභාවය පිළිබඳව ඇතැම් පාර්ශ්වයන් එල්ල කරන ලද චෝදනා සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් විසින් කළ විමසීමකදී‍යි.

එසේම රටේ ආර්ථික තත්ත්වය කෙබඳු වුවත්, ඉදිරි ආර්ථික වර්ධන පියවර සාක්ෂාත් කර ගැනීමට රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව අඛණ්ඩව පවත්වා ගැනීම අත්‍යවශ්‍ය බවත් මේ වෙනුවෙන් රාජ්‍ය නිලධාරීන්ට අවශ්‍ය මූලික පහසුකම් සැපයීම රජයේ වගකීමක් බවත් ඔහු සඳහන් කළා.

එමෙන්ම මෙම පහසුකම් සැපයීමේ පියවරක් වශයෙන් රාජ්‍ය සේවක වැටුප් වැඩිවීමේ දෙවන අදියර තවත් මාස දෙකක් ඇතුළත ලබා දීමට නියමිත බවත් ඔහු කියා සිටියා.

මේ අතර ඉකුත් කාලසීමාව තුළ ජනතා සේවය වෙනුවෙන් රාජ්‍ය සේවයට අත්‍යවශ්‍ය වූ වාහන මිලදී ගැනීම නිසි ලෙස සිදු වී නොමැති බවට අමාත්‍යවරයා පැහැදිලි කළා.

එබැවින් ඔහු සහතික වෙමින් පැවසුවේ වත්මන් වාහන මිලදී ගැනීම සියලු ප්‍රසම්පාදන මාර්ගෝපදේශයන්ට දැඩි ලෙස අනුකූලව සිදු කෙරෙන බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: