2024 පෙබරවාරි 27, පෙ.ව. 10:49
මෙරට ප්‍රධාන පෙළේ මත්පැන් නිෂ්පාදන ආයතන කීපයක් පවතින ක්‍රමවේදයට පූර්ණ පටහැනිව නීති විරෝධීව මත්පැන් නිෂ්පාදනය කොට බෙදා හැරීම හේතුවෙන් රජයට වාර්ෂිකව අහිමි වන බදු ආදායම රුපියල් බිලියන 150 කට අධික බව ශ්‍රී ලංකා මත්පැන් බලපත්‍රලාභීන්ගේ සංගමය අවධාරණය කරයි.
මාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශයක් සිදු කළ එම සංගමයේ සභාපති අජිත් උඩුගම මහතා සඳහන් කරන්නේ ඒ අනුව දළ වශයෙන් දිනකට රජයට අය විය යුතු බදු මුදල් රුපියල් මිලියන 500 ක් පමණ අහිමි වන බවය.
තවදුරටත් අදහස් පළ කළ ශ්‍රී ලංකා මත්පැන් බලපත්‍රධාරීන්ගේ සංගමයේ සභාපති අජිත් උඩුගම මහතා මෙසේද සඳහන් කළා.
“මේ ආකාරයෙන් නීති විරෝධීව නිපදවන මත්පැන් නිෂ්පාදන දෛනිකව විශාල ප්‍රමාණයක් වෙළඳපළට පැමිණෙමින් තිබියදී එම බදු මුදල් අයකර ගැනීමට නිසි ක්‍රමවේදයක් සකස් නොකරන මුදල් අමාත්‍යාංශය පසුගියදා මත්පැන් බලපත්‍ර මිල සියයට තුන්දහස් තුන්සියයකින් වැඩි කළා. අපි ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා. එවිට ඒ තීරණය ආපස්සට ගත් නිසා අපි සුපුරුදු විදිහටම පසුගිය ජනවාරි මාසයේ ගාස්තු ගෙවලා බලපත්‍ර අලුත් කළා. නමුත් රජය නැවතත් ඉතාමත් අසාධාරණ ආකාරයෙන් පෙබරවාරි මාසයේ බලපත්‍ර ගාස්තු සියයට සියයකින් වැඩි කලා. ඒ අනුව රුපියල් ලක්ෂ 03 ක් ව පැවති බලපත්‍ර ගාස්තුව ලක්ෂ 06 ක් කළා, ලක්ෂ 04 බලපත්‍ර ගාස්තුව ලක්ෂ 08 ක් කළා. ලක්ෂ 06 ක බලපත්‍ර ගාස්තුව ලක්ෂ 10 ක් වශයෙන් වැඩි කළා. ප්‍රාදේශීය සභා, නගර සභා හා මහනගර සභා ප්‍රදේශ වශයෙන් මේ ගාස්තු වැඩි වෙනවා. ඒක ඉතාමත් නීති විරෝධීයි. ශ්‍රේෂ්ඨාධිකරණය 2015 වසරේ තීන්දුවක් දුන්නා මුදල් ගෙවා බලපත්‍ර ලබා ගත් පසු නැවත ගාස්තු වැඩි කිරීමක් කරන්න බෑ කියලා. නමුත් ඒ තීන්දුවට පටහැනිව තමයි සුරාබදු දෙපාර්තමේන්තුව මේ බලපත්‍ර ගාස්තු වැඩි කළේ. මාසයක් ඇතුළත හිඟ මුදල ගෙවන්න කියලා අපිට ලියුම් එවල තියනව. අපි ඊට විරුද්ධව දැන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු දෙකක් දාලා තියෙනවා 46/2024 හා 47/2024 නඩු අංක යටතේ. ඊට එරෙහිව තවත් නඩුවක් අද 27 දින ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කරනවා.
ආණ්ඩුව දැන් තවත් මත්පැන් බලපත්‍ර 600 ක් අලුතෙන් දෙන්න කටයුතු කරගෙන යනවා. මත්පැන් බලපත්‍ර දුන්නට විරෝධයක් නෑ. නමුත් පවතින පිළිගත් නීතිමය ක්‍රමවේද වලට පටහැනිව තමයි මේක කරන්න යන්නේ. රජයට ඉතාමත් කිට්ටු දේශපාලනඥයන්ට තමයි මේ බලපත්‍ර දීල තියෙන්නෙ. දැන් ඡන්දෙත් එනවනේ චන්දෙට වියදම් කරන්න තමයි දේශපාලනඥයෝ මේ බලපත්‍ර ව්‍යාපාරිකයන්ට විකුණන්නේ කියලා අපි හිතනවා. දැන් මේ බලපත්‍රයක් දෙන්නේ රුපියල් කෝටි 06 ක් වගේ මුදලකට තමයි. බලපත්‍ර නිකුත් කළාට අපි විරුද්ධ නෑ නමුත් මේ බලපත්‍ර ලබා දෙන ක්‍රමවේදයට විරුද්ධව අපි ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු 03 ක් ගොනු කරලා තියෙනවා. ඒ නිසයි මේ මත්පැන් අලෙවිහල් විවෘත කිරීම පමා වෙලා තියෙන්නෙ. ඒත් මේ නඩු ගොනු කරලා තිබියදී පවා ගම්පහ සහ උතුරු පළාතේ මත්පැන් අලෙවිහල් කීපයක් විවෘත කරලා තියෙනවා. ඒක නීති විරෝධීයි. අපි මේ නඩු දාල තියෙද්දී පවා මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහත්තයා කියලා තියෙනවා ඒ බලපත්‍ර 600 න් 300 ක් ලබාදීමට පියවර ගන්නවා කියලා. රුපියල් බිලියන ගණන් බදු මුදල් ගෙවීම පැහැර හැර ඇති මත්පැන් නිෂ්පාදන සමාගම් සඳහාද බලපත්‍ර විශාල ප්‍රමාණයක් දීමට සූදානම්ව තිබෙන බව අපට දැන ගන්නට ලැබී තිබෙනවා.
මුදල් අමාත්යාංශය සුරා බදු දෙපාර්තමේන්තුවෙන් වසරකට රුපියල් බිලියන 217 ක් මුදලක් තමයි ආදායම වශයෙන් බලාපොරොත්තු වෙන්නේ. නමුත් පසුගිය වසරේ ආදායම වුනේ රුපියල් බිලියන 171 යි. මේ ආදායම වැඩි කරගන්න විදිහ අපි සුරා බදු දෙපාර්තමේන්තුවට යෝජනා වශයෙන් ඉදිරිපත් කරලා තියෙනවා. පෙර තිබූ පරිදි අලෙවිය මත ආදායම අය කර ගැනීමේ ක්රමය, බදු නොගෙවා නීති විරෝධීව නිෂ්පාදනය කරන මත්පැන් හා රා සදහා බදු අය කර ගැනීමේ ක්රමවේද ක්රියාත්මක කළොත් අපේ බලපත්ර ගාස්තු වැඩි නොකර විශාල මුදලක් වාර්ෂිකව හොයන්න පුළුවන්. අපි මේ පිළිබඳව තොරතුරු සියල්ල ලබා දුන්නත් සුරා බදු දෙපාර්තමේන්තුව ඒ සඳහා කිසිම උනන්දුවක් නෑ. ඇතැම් සුරාබදු නිලධාරීන් මේ නීති විරෝධී මත්පැන් නිෂ්පාදන ආයතන සමග සමීප සම්බන්ධතා පවත්වනවා කියලා අපි දන්නවා. නමුත් රජයට වාර්ෂිකව අහිමිවන රුපියල් බිලියන 150 ක් මුදල අයකර ගන්න වැඩපිළිවෙලක් සකස් කරගන්නේ නැත්තේ ඇයි කියලා අපි අහනවා.
මේ නීති විරෝධීව නිෂ්පාදනය කරන රා ඇතුළු මත්පැන් නියමිත ප්‍රමිතියට නෙවෙයි නිෂ්පාදනය කරන්නේ. මිනිස් ශරීරයට ඉතාමත් අහිතකර පිළිකා කාරක පවා ඒ සඳහා යොදනවා. මේවා මිනිස් ශරීරයට සෞඛ්‍යයට ඉතාමත් අහිතකරයි. ඒත් මේවා නවත්තන්න වගකිවයුත්තන්ට උනන්දුවක් නෑ. විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ මේ වන විට බලපත්‍ර සහිත මත්පැන් අලෙවිය සියයට පනහකටත් වඩා ඉතාමත් පහත වැටිලා තියෙන්නෙ. දිනෙන් දින අසාමාන්‍ය විදියට බදු අය කරන නිසා මත්පැන් මිල සාමාන්‍ය ජනතාවට දරන්න බැරි තරම් ඉහළ ගිහිල්ලා. හැබැයි නීති විරෝධී මත්පැන් භාවිතය ඉතාමත් විශාල වශයෙන් ඉහළ ගිහිල්ලා. තව ටික කලකින් මේක අපේ රටේ සෞඛ්‍යය අංශවලටත් දරාගන්න බැරි තරම් ගැටලුවක් වෙන එක නම් අනිවාර්යයයි යනුවෙන්ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළා.
2025 මැයි 12, පෙ.ව. 12:14
2025 මැයි 12, පෙ.ව. 12:13
2025 මැයි 12, පෙ.ව. 12:10
2025 මැයි 12, පෙ.ව. 12:10
2025 මැයි 12, පෙ.ව. 12:06