hit counter

2025 අප්‍රේල් මස 15 වන අඟහරුවාදා

2025 අප්‍රේල් 14, පෙ.ව. 12:09



අලුත් අවුරුදු සමයේදී ලබා ගන්නා ආහාර සම්බන්ධව සියලු දෙනාම සැලකිලිමත් විය යුතු බව විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කරයි.

විශේෂයෙන්ම දියවැඩියාව, අධි රුධිර පීඩනය, හෘදයාබාධ සහ රුධිරගත කොලෙස්ටරෝල් මට්ටම ඉහළ රෝගීන් මෙම කාලසීමාවේ දී සීනි, තෙල්, පිටි සහ ලුණු අධික ආහාරවලින් වැළකී සිටීම වැදගත් බව ද ඔහු සඳහන් කළේය.

අලුත් අවුරුදු සමයෙන් පසුව ඉහත සඳහන් රෝගී තත්ත්වවලින් පෙළෙන පුද්ගලයන් අදාළ රෝගී තත්ත්ව උත්සන්න වීම හෝ සංකූලතා ඇතිවීම මත රෝහල් ගතවීම වැඩි වනු දැකීම සාමාන්‍යයෙන් තම අත්දැකීම බව ද හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කරයි. තවද අලුත් අවුරුදු සමයේදී නිසි පරිදි සායනවලින් ලබා දෙන ඖෂධ ලබා නොගැනීම නිසා ද රෝගීන්ගේ සංකූලතා ඉහළ යන බව ඔහු සඳහන් කළේය.

නව වසර උදා වීමත් සමග දුර බැහැර ප්‍රදේශවල විනෝද චාරිකාවල යන පුද්ගලයින් පවා ආහාර පාන ගැන සැලකිලිමත් වියයුතු බවත් තමන් දිගටම භාවිතා කරන ඖෂධ රැගෙන යෑමට සැලකිලිමත් වීම වැදගත් බවත් වෛද්‍යවරයා සඳහන් කරයි.

කුඩා ළමුන් පවා අලුත් අවුරුදු සමයේදී අධික ලෙස තෙල් අධික හා සීනි අධික ආහාර භාවිතයෙන් වැළකීම වැදගත් බව ද මෙම කාලසීමාවේදී ආහාර මාර්ග පද්ධතිය ආශ්‍රිත රෝගවලට කුඩා දරුවන් ගොදුරු වීම නිසා රෝහල් ගතවීම් සිදුවිය හැකි බැවින් ඒ සම්බන්ධව දෙමාපියන් අවධානය යොමු කළ යුතු බව ද ඔහු පෙන්වා දෙයි.

මත්පැන් භාවිතය නිසා බොහෝ පුද්ගලයන් තුළ මීට පෙර පැවැති හෘදයාබාධ තත්ත්වයන් උත්සන්න වීමත් දියවැඩියාව සහ අධි රුධිර පීඩනය වැඩිවීමත් නිසා මරණයට පත්වීමට පවා වැඩි අවදානමක් පවතින බවත් වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: