hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2022 ජූනි 27, පෙ.ව. 2:49



ඉන්ධන නොමැතිව ජනතාව දින ගණනාවක් දිගු පෝලිම් වල සිටින මොහොතක ඊයේ(26) අලුයම 02 සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සහ අයි ඕ සී සමාගම සිය ඉන්ධන මිල ගණන් ඉහළ දැමුවා.

ඒ අනුව දින 32 ක් තුළ මෙරට ඉන්ධන මිල රුපියල් 661 කින් ඉහළ ගොස් තිබෙනවා.

අවසන් වරට ඉන්ධන මිල ඉහළ යාමක් සිදුවුණේ ඉකුත් මැයි මස 24 වනදා අලුයම 02 සිට ක්‍රියාත්මක වන පරිදියි.

ඒ අනුව දින 32 ක කාලයක් තුළ ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 132 කින්ද, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 177 කින්ද මිල ඉහළ ගොස් තිබෙනවා.

එම කාලය තුළදී ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 171 කින් සහ සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 181 කින් ඉහළ දමනු ලැබුවා.

මේ අතර මෙම වසර ආරම්භ වන විට ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 177 ක් ලෙසද, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 207 ක් ලෙස ද පැවතුනා.

වසර ආරම්භයේදී ඔටෝ ඩීසල් ලීටරයක මිල පැවතුනේ රුපියල් 121 ක් ලෙසයි. සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 159 ක් ලෙස පැවතුනා.

ඒ අනුව මෙම වසර ආරම්භයේ සිට අද දිනය දක්වා අවස්ථා 04 කදී ඉන්ධන මිල ඉහළ ගොස් තිබෙනවා.

ඒ මාර්තු 12 වනදා, අප්‍රේල් 18 වනදා, මැයි 24 වනදා සහ අද දිනයේදීයි.

මෙලෙස ඉන්ධන මිල ඉහළ ගිය අවස්ථා 04 තුළ ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 293 කින්ද, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 343 කින්ද, ඔටෝ ඩිසල් ලීටරයක මිල රුපියල් 339 කින් සහ සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 361 කින් ද ඉහළ ගොස් තිබෙනවා.

එවන් පසුබිමක් තුළ ඊයේ අලුයම 02 සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාව මගින් ඉන්ධන මිල යළි ඉහළ දමනු ලැබුවා.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල ඉහළ ගියේ රුපියල් 50 කින්. එහි නව මිල වනනේ රුපියල් 470 ක්.

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 100 කින් ඉහළ දමා තිබෙනවා. ඒ අනුව ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 550 ක්.

ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 60 ඉහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 460 ක්.

සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 75 කින් ඉහළ දමා තිබෙනවා. ඒ අනුව සුපර් ඩීසල් ලීටරයක නව මිල වන්නේ රුපියල් 520 ක්.

රුපියල් 87ක්ව පැවැති භූමිතෙල් මිලෙහි කිසිදු වෙනසක් සිදු කර නෑ.

නව මිල ගණන් අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයකින් රුපියල් 15.57ක් ලාභයක්ද, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයකින් රුපියල් 68.61ක ලාභයක්ද ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව උපයා ගන්නවා.

සුපර් ඩීසල් ලීටරයකින් රුපියල් 20.27ක ලාභයක්ද තෙල් සංස්ථාවට හිමිවෙනවා.

නමුත් ඔටෝ ඩීසල් ලීටරයකින් රුපියල් 8.52ක්ද, භූමිතෙල් ලීටරයකින් රුපියල් 334ක්ද ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව අලාභ ලබන බවයි ප්‍රකාශ කරන්නේ.

කෙසේ වෙතත් ඉන්ධන මිල ඉහළ නංවා ඇති පසුබිමක මෙරටට ඉන්ධන නෞකා ගෙන්වා ගැනීමේ දුෂ්කරතාවයකට රජය මුහුණ දී තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: