hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2022 අගෝස්‍තු 19, පෙ.ව. 6:35



මහජන උපයෝගීතා කොමිසම මගින් ලබාදුන් විදුලි බිල වැඩි කිරීමේ අනුමැතියත් සමඟ කබලෙන් ලිපට වැටි දුෂ්කරතාවයට පත් ජනතාවට, රොකට් යවනවා කියා ලංකා විදුලිබල මණ්ඩලයට කෝටි හතලිස් නමයක් වංචා කළ රාජකීය පුත්තු තෙල් වලටත් අත තියා ගසා කනවාද කියන සැකය මතුවී ඇති බව 43 සේනාංක ප්‍රධානි පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ඒ මහතා මේ බව පවසා සිටියේ මහජන උපයෝගීතා කොමිසම මගින් විදුලි බිල සංශෝධනයට අනුමැතිය දීම තුළින් රටේ ජනතාව පත්ව ඇති දුෂ්කරතාවය පිළිබඳව සාකච්ජා කිරීම සඳහා 43 සේනාංකය මගින් පවත්වනු ලැබූ මාධ්‍ය සාකච්ජාවට සම්බන්ධ වෙමින්.

මාස කිහිපයකට අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයවත් ගෙන්වා ගත නොහැකි තත්වයක් පවතින මෙවන් අවස්ථාවක 2025 දක්වා අවශ්‍ය ගල් අඟුරු ගෙන්වීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් වී ඇතැයි කී මන්ත්‍රීවරයා එය සිදුවන්නේ කුමන ක්‍රියාවලියක් මතද යන්න ගැටලුවක් බව කීවේය. රටේ ආර්ථික තත්වයට හා ඩොලර් සංචිතවලට ඔරොත්තු නොදෙන ආකාරයට, ගල් අඟුරු ප්‍රසම්පාදන කළ නිසා දැන් අර්බුදයක් මතුවී ඇතැයි කී රණවක මහතා එය ඉදිරියටත් අවිධිමත් ආකාරයට කළහොත් ඉතා භයානක ප්‍රතිඵල අත්විය හැකි බව ද පැවසුවා.

අතීතයේ රොකට් යවන බව කියමින්ලංකා විදුලිබල මණ්ඩලයට කෝටි 49 ක් වංචා කළ රාජකීය පුතුන් වර්තමානයේ තෙල්වලටත් අත තියා ගසා කනවාද යන සැකය මතුවී ඇතැයි ද මන්ත්‍රීවරයා සඳහන් කළා.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වුවා,

“මෙහෙමයි නොරොච්චෝලේ බලාගාරයේ දැන් තියෙන්නේ තාක්ෂණික බිඳවැටීමක් කියලා ඒගොල්ලෝ කියනවා. ඇත්තට නොරොච්චෝලේ බලාගාරය එක යන්ත්‍රයක්  වාර්ෂික නඩත්තු කිරීමට වසා දාන  තත්වෙක තමයි තිබුනේ. ඒකෙන් කොයිකද කියලා මම දන්නෑ හරියට ඔය දැන් කරගෙන යන්නේ. කෙසේ නමුත් සැප්තැම්බර් මස අග ඉඳන් ගල් අඟුරු මිලියන ටොන්  දෙකහමාරක්, ලක්ෂ විසිපහක් ගෙන්නා ගන්න කටයුතු කළේ නැත්නම් විධිමත් ආකාරයකට අපිට පැය තුන නෙමෙයි පැය දහයක විතර විදුලි කප්පාදුවකට මුහුණ දෙන්න වෙනවා. ඒ වගේම කැබිනට් පත්‍රිකාවක් දාලා තියෙනවා දෙදාස් විසිපහ වෙනකම් ගල් අඟුරු ගෙන්නන්න. මේ මාස කිහිපයකටවත් ගල් අඟුරු ගෙන්න ගන්න ඩොලර් නෑ කිය කිය දෙදාස් විසිපහ වෙනකල් ගල් අඟුරු එක පාරට ගෙන්නන්න හදන්නේ මොන පදනමක් මතද? මොන ක්‍රියාවලියක් මතද කියලා අපිට ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා මේ විධිමත් ප්‍රසම්පාදන ක්‍රියාවලියකට හා රටේ ආර්ථික තත්වයට, ඒ වගේම ඩොලර් සංචිතවලට ඔරොත්තු දෙන ආකාරයට, ගල් අඟුරු ප්‍රසම්පාදන නොකළ නිසා දැන් අර්බුදයට ගිහින් තියෙනවා. ඒක ඉදිරියටත් මේ අවිධිමත් ආකාරයට කලොත් ඉතාම භයානක ප්‍රතිඵල වලට මුහුණ දෙන්න වෙයි. මොකද ගල් අඟුරු බලාගාරය නොතිබුනොත් පැය දහයක පමණ විදුලි කප්පාදුවකට මුහුණ දෙන්න වෙන නිසා.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: