hit counter

2025 නොවැම්‍බර් මස 07 වන සිකුරාදා

2025 නොවැම්‍බර් 08, පෙ.ව. 12:04



රට පුරා පාසල් දරුවන් ඉලක්ක කරගනිමින් ව්‍යාප්ත වන මත්ද්‍රව්‍ය උවදුර මැඩලීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය තවත් සුවිශේෂී පියවරක් ගෙන තිබේ. ඒ අනුව, පාසල් පරිශ්‍රයන් තුළ ක්‍රියාත්මක කරනු ලබන මත්ද්‍රව්‍ය සෝදිසි මෙහෙයුම් සහ පරීක්ෂා කිරීම් සඳහා, පොලිස් නිල සුනඛයින්ගේ සහාය ලබා ගැනීමට දැන් දිවයිනේ ඕනෑම විදුහල්පතිවරයෙකුට හෝ විදුහල්පතිනියකට අවස්ථාව සලසා ඇත.

මෙම වැඩපිළිවෙළ, මත්ද්‍රව්‍ය සම්පූර්ණයෙන්ම මුලිනුපුටා දැමීමේ අරමුණින් සියලු රාජ්‍ය ආයතන ඒකාබද්ධව ක්‍රියාත්මක කරන “රටම එකට” ජාතික මෙහෙවරෙහි එක් ප්‍රධාන අංගයක් ලෙස ක්‍රියාවට නැංවේ. ශ්‍රී ලංකා පොලිසිය මෙම ජාතික වැඩසටහනට සිය සෘජු දායකත්වය ලබා දෙන අතර, පාසල් දරුවන් මත්ද්‍රව්‍ය ජාවාරමේ ගොදුරු බවට පත්වීම වැළැක්වීම සඳහා පාසල් කේන්ද්‍ර කරගනිමින් දැනටමත් විවිධ වැඩසටහන් රැසක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

ඒ අනුව, සිය පාසල තුළ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් යම් සැක කටයුතු තත්ත්වයක් පවතී නම් හෝ එවැනි සෝදිසි මෙහෙයුමක් සිදු කිරීමේ අවශ්‍යතාවක් පැන නැගුනහොත්, අදාළ විදුහල්පතිවරයාට හෝ විදුහල්පතිනියට ශ්‍රී ලංකා පොලිසියේ නිල සුනඛ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා සමඟ සෘජුවම සම්බන්ධ වී අවශ්‍ය සහාය ලබා ගැනීමේ හැකියාව පවතී.

මේ සඳහා අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු සිදු කර ගැනීමට 071-8591816 හෝ 081-2233429 යන දුරකථන අංක ඔස්සේ පොලිස් නිල සුනඛ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා ඇමතිය හැකි බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් මහජනතාව වෙත දැනුම් දෙයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: