hit counter

2024 ඔක්‍තෝබර් මස 05 වන සෙනසුරාදා

2024 ජූලි 07, පෙ.ව. 12:02



රටේ අනාගතය බාර ගැනීමට සිටින තරුණ තරුණියන්ගේ ජීවිත තවදුරටත් ව්‍යාකූල නොකර, ඔවුන්ගේ කාලය උදුරා නොගෙන සේවයට වාර්තා කරන ලෙස සියලුම විශ්වවිද්‍යාවල අනධ්‍යන කාර්ය මණ්ඩලයෙන් ඉල්ලා සිටින බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා ප්‍රකාශ කර සිටිනවා.

විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩල සේවකයින්ගේ මාස දෙකක වැටුප් සහ අප්‍රේල් මාසයට අදාළ අතිකාල දීමනා ලබා දීමටත් ඔවුන්ගේ ඉල්ලීම් සඳහා ප්‍රමුඛස්ථානය දී, උදය සෙනවිරත්න කමිටුවට යොමු කර 2025 අයවැයට ඇතුළත් කිරීමට පොරොන්දු වන බවත් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.

‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්, උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා මේ බව සඳහන් කර සිටියා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා, ”මේ රටේ විශ්වවිද්‍යාල 17ක් සහ ඒකාබද්ධ පශ්චාද් උපාධි ආයතන 19ක අනධ්‍යන සේවකයින් 14,600 දෙනකු දවස් 65 ක් පුරා නිරත වැඩ වර්ජනය හේතුවෙන් උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයම අකර්මණ්‍ය වී තිබෙනවා.

මේ රටේ අනාගතය බාර ගැනීමට සිටින තරුණ තරුණියන් 250,000 ජීවිත ව්‍යාකූල වීමත් ඔවුන්ගේ කාලය උදුරා ගැනීමත් මෙහි ඛේදනීය ප්‍රතිඵලය වී තිබෙනවා.

මා අද මෙතැන සිටින්නේ අධ්‍යාපනය නිසා ‍මිස වෙනත් කිසිදු හේතුවක් නිසා නොවෙයි. අධ්‍යාපනයේ වටිනාකම දන්නා මා මෙතැන සිටිද්දීත් රටේ විශ්වවිද්‍යාල වසා දමා තිබීම ගැන ඉතා කණගාටුයි.

ඔවුන් ඉල්ලා සිටි වැටුප් වැඩි කිරීමට භාණ්ඩාගාරය එකඟ නොවුයේ ඒ සමඟ තවත් ආයතන ගණනාවක වැටුප් වැඩි කිරීම් ඉල්ලා සිටීම හේතුවෙනුයි.

කෙසේ වෙතත් මෙම ඉල්ලීම් පිළිබඳ සළකා බලා 2025 අයවැයට ඇතුළත් කිරීමට කටයුතු කරන බව භාණ්ඩාගාරය ප්‍රකාශ කළා.

ඒ සමඟම මෙම නාටකය පසුපස සිටින විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය ( FUTA) එළි බැස තිබෙනවා.

2010 වසරේ සිට අඛණ්ඩව තමන්ගේ වැටුප් වැඩි කර ගත් ඔවුන්, අනධ්‍යන සේවකයින්ගේ වැටුප් වැඩි කිරීමට උත්සාහ කරද්දී විවිධ කොන්දේසි දමමින් ලිපි යොමු කරනවා.

විශ්වවිද්‍යාල සතු මුදල් මේ ප්‍රශ්නය විසඳීමට යොදා නොගන්නා ලෙස ඔවුන්ගේ අවසන් ලිපියෙන් දැනුම් දී තිබෙනවා.

මේ අයුරින් ඔවුන් කොන්දේසි දමන්නේ කොහොමද? විශ්වවිද්‍යාල කියන්නේ මහජන බදු මුදලින් නඩත්තු වන ආයතන මිස ඔවුන්ගේ බූදලයක් නෙවෙයි.

විශ්වවිද්‍යාල කිසි දිනෙක එහි ආචාර්යවරුන්ගේ මාෆියාවට යට වෙන්න දෙන්න බැහැ.

ඔවුන්ගේ වෘත්තීය අරමුණ විය යුත්තේ අධ්‍යාපනය ගොඩ නගා දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමයි.”

Example Image




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: