hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2022 ජූලි 10, ප.ව. 8:24



ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ධුරයෙන් ඉවත් වීමෙන් පසු නව ජනාධිපතිවරයෙකු පත්කිරීම ඇතුළු දේශපාලන ක්‍රියාවලිය කඩිනමින් සිදුවිය යුතු බවත්, ව්‍යාවස්ථානුකුලව අදාළ සියලු පත්කිරිම් සිදු විය යුතු බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය පෙන්වා දෙනවා.

කොළඹ අද (10) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ජනාධිපති නීතිඥ සාලිය පිරිස් මහතා කියා සිටියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ඉල්ලා අස්වීමට ගත් තීරණය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් ඔහුගේ අත්සනින් යුත් ලිපියක් කථානායකවරයාට යොමු කළ යුතු බවයි.

එවිට ජනාධිපති ධුරය පුරප්පාඩු වූ විට අග්‍රාමාත්‍යවරයාට වැඩ බලන ජනාධිපතිවරයා ලෙස වැඩ භාර ගැනීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඉඩ සලසා ඇති බවද සභාපතිවරයා සඳහන් කළා.

අගමැතිවරයාට ජනාධිපති ලෙස ක්‍රියා කිරීමට නොහැකි නම්, මාසයක කාලයක් සඳහා කතානායකවරයාට වැඩබලන ජනාධිපති ලෙස කටයුතු කිරීමට ප්‍රතිපාදන පවතිනවා.

එම මාසය ඇතුළත පාර්ලිමේන්තුව විසින් ධුරයෙන් ඉවත් වූ ජනාධිපතිවරයාගේ ධූර කාලයේ ඉතිරි කාලය සඳහා අනුප්‍රාප්තිකයෙකු තෝරා ගත යුතු බවද ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා ප්‍රකාශ කළා.

ජනාධිපතිවරයා ලෙස තෝරා පත් කර ගනු ලබන මන්ත්‍රීවරයා ප්‍රකාශිත ඡන්දවලින් 50%කට වඩා වැඩි ප්‍රතිශතයක් ලබා ගත යුතු බවයි සාලිය පීරිස් මහතා පෙන්වා දුන්නේ.

සියලූ පක්‍ෂ විසින් පිළිගත හැකි අගමැතිවරයකු සමග ජාතික සමගි රජයක් පිහිටුවීමේ අවශ්‍යතාවයද ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා පෙන්වා දෙනවා.

ජනාධිපති නීතිඥ සාලිය පිරිස් මහතා මෙසේ අදහස් පළ කළා,

“කථානායකවරයා වැඩබලන ජනාධිපතිවරයා විදියට පත්වෙන්න. එහෙම පත්වුණාට පස්සේ මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට බලය තියෙනවා සුදුසුකම් තියෙන මන්ත්‍රීවරු අතරින් අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙක් තෝරා ගන්න මාසයක් ඇතුළත. ඒ පවත්වන්නේ පාර්ලිමේන්තුව තුළ පවත්වන ඡන්දයකින්. 1993 වුණේ ඩී.බී විජේතුංග වැඩබලන ජනාධිපතිතුමා විතරයි නාමයෝජනා භාරදුන්නේ. ඒ නිසා එතුමා නිතරගයෙන් අනුප්‍රාප්තික ජනාධිපතිවරයා විදියට පත්වුණා. ඕනේ නම් මන්ත්‍රීවරුන් එක්කෙනෙකුට වැඩි ගාණකට නාමයෝජනා දෙන්න පුළුවන්. එතකොට පාර්ලිමේන්තුව ඇතුළේ ඡන්දයක් පවත්වනවා. ඒ ඡන්දයේ දී ජනාධිපතිවරණයක දී තියෙනවා වගේම එක, දෙක, තුන කියලා මනාප ලකුණු කරන්න පුළුවන්. එතකොට රටේ පවතින ජනාධිපතිවරණයක් වගේම 50%ට වැඩියෙන් තිබුණොත් ඒ අපේක්ෂකයා ජනාධිපති හැටියට ප්‍රකාශයට පත්කරනවා. නැත්නම් අර පහළින්ම ඉන්න අපේක්ෂකයින් ව අයින් කරනවා. අයින් කරලා දෙවැනි මනාපය එකතු කරනවා දැනටම ඡන්දය දීලා තියෙන එකට. ඒ ආකාරයට 50%ට වැඩි අවස්ථාවේ දී තමයි මන්ත්‍රීවරයෙක්ව ජනාධිපති හැටියට ප්‍රකාශයට පත්කරන්නේ.”

ප්‍රශ්නය – අගමැතිවරයා කියනවා ඊළඟ අගමැති පත්වෙන තුරු එතුමා ධූරයේ ඉන්නවා කියලා?

“රනිල් වික්‍රමසිංහ මහතාව පත්කරපු ජනාධිපතිවරයා ඉල්ලා අස්වීම තුළ එතුමාගේ ධූරය තව ඉතිරිවෙලා තියෙනවා ද කියන එතුමා සලකලා බලන්න ඕනේ. අපේ යෝජනාවලිය තුළ අපි මීට පෙරත් යෝජනා කරලා තියෙනවා. පාර්ලිමේන්තුවේ සියලු දේශපාලන පක්ෂ සහිත ජාතික ආණ්ඩුවක් පිහිටුවන්න.”