2025 නොවැම්‍බර් 08, පෙ.ව. 12:10
ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ දැවැන්ත පරිවර්තනයක් සනිටුහන් කරමින්, ලබන වසරේ (2026) ජනවාරි මස සිට ක්‍රියාත්මක වන පරිදි නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රැසක් හඳුන්වා දීමට රජය පියවර ගෙන තිබේ.
මෙම ප්‍රතිසංස්කරණවල ප්‍රධාන අංගයක් ලෙස, 5 වන ශ්‍රේණියේ සිට ඉහළ පන්ති සඳහා පාසල් පැවැත්වෙන කාලය පස්වරු 2.00 දක්වා දීර්ඝ කිරීමට නියමිතය. ඊට සමගාමීව, 1 සහ 6 යන ශ්‍රේණි සඳහා සම්ප්‍රදායික පෙළපොත් වෙනුවට ‘මොඩියුල’ පාදක කරගත් නව ඉගෙනුම් ක්‍රමවේදයක් හඳුන්වා දෙනු ඇත.
මෙම කරුණු අනාවරණය වූයේ, බත්තරමුල්ලේ පිහිටි අධ්‍යාපන අමාත්‍යාංශයේදී ඊයේ (6) දින පැවති විශේෂ මාධ්‍ය හමුවකදී අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කලුවැව මහතා විසිනි.
නව කාලසටහනට අනුව, 5 වන ශ්‍රේණියේ සිට ඉහළ ශ්‍රේණි සඳහා පාසල් දිනය පෙරවරු 7.30 සිට පස්වරු 2.00 දක්වා ක්‍රියාත්මක වන අතර, එක් ඉගැන්වීම් කාල පරිච්ඡේදයක් මිනිත්තු 50ක් දක්වා දීර්ඝ කර තිබේ. දරුවන්ට ක්‍රියාකාරකම්-පදනම් කරගත් අධ්‍යාපනයක් ලබාදීම සහ ප්‍රායෝගික කුසලතා වර්ධනයට වැඩි අවස්ථාවක් සැලසීම මෙහි මූලික අරමුණයි.
කෙසේ වෙතත්, 1 සහ 2 ශ්‍රේණිවල පාසල් වේලාව (පෙ.ව. 7.30 – පෙ.ව. 11.45) සහ 3 සහ 4 ශ්‍රේණිවල පාසල් වේලාව (පෙ.ව. 7.30 – ප.ව. 1.00) දැනට පවතින ආකාරයෙන්ම නොවෙනස්ව පවතිනු ඇත. පාසල් විවේක කාල සම්බන්ධයෙන් අවසන් තීරණ ගැනීමේ බලය විදුහල්පතිවරුන් වෙත පවරා ඇත්තේ, එක් එක් පාසලේ ප්‍රායෝගික අවශ්‍යතා සලකා බැලීමට අවස්ථාව ලබා දෙමිනි.
මෙම ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ දිවයින පුරා පාසල් 10,076ක පළමු ශ්‍රේණියට ඇතුළත් වන දරුවන් 282,293ක් සහ හයවන ශ්‍රේණියේ දරුවන් 323,896ක් ඉලක්ක කරගනිමින් ආරම්භ කෙරේ.
මේ සඳහා අවශ්‍ය ගුරු පුහුණුව මේ වන විටත් වේගවත්ව ක්‍රියාත්මක වන අතර, පුහුණුකරුවන් 10,000ක් පමණ දැනටමත් පුහුණු කර අවසන්ය. එම පුහුණුකරුවන් හරහා පළාත් නවයේම ගුරුවරුන් 136,065 දෙනෙකු පුහුණු කිරීමේ කටයුතු සිදු වෙමින් පවතී. නව ‘මොඩියුල’ මුද්‍රණය අවසන් අදියරේ පවතින අතර, ලබන වසරේ ජනවාරි මස පළමු වනදා වන විට ඒවා සිසුන් අතට පත් කිරීමට නියමිතය.
මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේදී 1 සහ 6 ශ්‍රේණි හැර අනෙකුත් ශ්‍රේණි සඳහා පෙර පරිදිම පෙළපොත් ලබා දෙන බවත්, පෙළපොත් අහිමි කරන බවට පැතිර යන ප්‍රචාර සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් ලේකම්වරයා අවධාරණය කළේය.
පෙළපොත් මුද්‍රණය සඳහා රුපියල් බිලියන 15ක මුදලක් වෙන් කර ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. තවද, නව අධ්‍යාපන ක්‍රමයට අවශ්‍ය ඩිජිටල් යටිතල පහසුකම් ලබන වසරේ මාර්තු මාසය වන විට පාසල් තුළ ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇත. ඒ යටතේ, පාසල් 2,500ක් සඳහා පරිගණක හෝ සුහුරු පුවරු ලබා දීමට රුපියල් මිලියන 1,900ක් සහ අන්තර්ජාල පහසුකම් නොමැති ද්විතීයික පාසල් 1,873කට එම පහසුකම් ලබා දීමටද රජය කටයුතු කරමින් සිටී.
2025 නොවැම්‍බර් 08, පෙ.ව. 12:10
2025 නොවැම්‍බර් 08, පෙ.ව. 12:07
2025 නොවැම්‍බර් 08, පෙ.ව. 12:04
2025 නොවැම්‍බර් 08, පෙ.ව. 12:00
2025 නොවැම්‍බර් 07, ප.ව. 5:17
08-11-25
08-11-25
07-11-25
07-11-25
07-11-25
07-11-25
07-11-25
07-11-25
07-11-25
07-11-25
07-11-25
07-11-25
07-11-25
07-11-25
07-11-25
07-11-25
07-11-25
07-11-25
06-11-25
06-11-25
06-11-25
06-11-25
06-11-25
06-11-25