hit counter

2024 සැප්‍තැම්‍බර් මස 19 වන බ්‍රහස්පතින්දා

2024 සැප්‍තැම්‍බර් 15, පෙ.ව. 12:06



ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු අවසන් වීමෙන් පසුව පවතින පැය 48 ක නිහඬ කාල​​යේ දී සමාජ මාධ්‍ය ඔස්සේ සිදුවන අපේක්ෂක ප්‍රචාරක කටයුතු හා මඩ ප්‍රචාර ආදිය නතර කිරීම සඳහා පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට මැතිවරණ කොමිෂන් සභාව සැලසුම් කර තිබෙනවා.

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සහ සමාජ මාධ්‍ය ජාලා අයත් සමාගම් සමග එක්ව මෙම වැඩපිළිවෙළ සකස් කිරීම සම්බන්ධව අවධානය යොමුකර ඇතැයි ද එම කොමිසම සඳහන් කළා.

මෙමස 18 වැනිදා මධ්‍යම රාත්‍රියෙන් පසු ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු අවසන් වන අතර, 19 වැනිදා සහ 20 වැනිදා නිහඬ කාලය වනවා.

මෙම කාලය තුළදී ප්‍රචාරක කටයුතු කිරීම සම්පූර්ණයෙන්ම තහනම් වුවත්, සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරක කටයුතු කිරීමේ සැලසුමක් පවතින බවට තොරතුරු අනාවරණයවී තිබෙනවා.

සමාජ මාධ්‍ය කණ්ඩායම් සමග සාකච්ඡා කර නිහඬ කාලය තුළදී මැතිවරණ ප්‍රචාරක හා මඩ ප්‍රචාර කටයුතු නතර කිරීම සඳහා මැතිවරණ කොමිසම දැඩි උත්සාහයක් ගන්නා බව එහි සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක පැවසුවා.

මෙම ප්‍රචාරක කටයුතු බොහොමයක් සිදු කෙරෙන්නේ විදෙස් රටවල සිට බවද ඔහු සඳහන් කළා.

මේ වනවිටත් සමාජ මාධ්‍යවල පළකර තිබූ මඩ ප්‍රචාර ආදිය එම සමාගම් සමග සාකච්ඡා කර ඉවත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව පියවර ගෙන ඇතැයි ද සභාපතිවරයා සඳහන් කළා.

තවද නිහඬ කාලයේදී සමාජ මාධ්‍යවල සිදු කෙරෙන මැතිවරණ ප්‍රචාරක කටයුතු වැළැක්වීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවද ක්‍රමවේදයක් සකස් කරගෙන යන බව ද ඔහු පැවසුවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: