hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2023 නොවැම්‍බර් 08, ප.ව. 3:44



රටේ ජනතාවගේ යහපත වෙනුවෙන් කටයුතු කරන ලෙස දේශපාලඥයන් හට විවිධ අවස්ථාවල කොතෙක් අවවාද අනුශාසනා සිදුකළද ඔවුන් එය කිසිදු විටක මායිම් නොකිරීම කනගාටුවට කරුණක් බව මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්රී සුමංගල නාහිමිපාණන් වහන්සේ පවසයි. 

ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණේ නියෝජිත පිරිසක් 08 වෙනිදා නාහිමියෝ බැහැදැක සංදේශයක් භාර දුන් අවස්ථාවේ උන්වහන්සේ ඉහත අදහස් පළ කළා.

සංදේශයක් බාර දෙමින් තැපැල් වෘත්තිය සමිති නියෝජිතයෝ නාහිමි හමුවේ පවසා සිටියේ ජනාධිපතිතුමන් ඉතාමත් අත්තනෝමතිකව නුවරඑළිය හා මහනුවර ඉපැරණි තැපැල් සංකීර්ණ  ඉන්දියානු හොටල් සමාගමකට විකිනිමට උත්සාහ කරන බැවින් එම උත්සාහය වැළැක්වීම සඳහා නාහිමියන් හට මැදිහත් වීමක් සිදු කරන ලෙසයි. 

දැඩි පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුත් වසර 200 කට වඩා මෙම ඉපැරැණි ගොඩනැගිලි මේ වන විටද සංචාරකයන්ගේ දැඩි ආකර්ෂණයට ලක්ව පවතින බවින් එම ගොඩනැගිලි තැපල් දෙපාර්තමේන්තුව සන්තකයේ තබා ගනිමින්ම සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් යෝජනා මාලාවක් තම වෘත්තීය සමිති විසින් රජයට ලබාදී තිබුණද ඒ පිළිබඳව කිසිදු අවධානයක් යොමු නොකරන ජනපතිවරයා රටේ සම්පත් මේ ආකාරයෙන් විකිණීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවද වෘත්තීය සංගම් නියෝජිතයෝ නාහිමි හමුවේ පැවසූවා.

මෙහිදී තවදුරටත් අදහස් පළ කළ මල්වතු මහ නාහිමියෝ මෙසේද පැවසූවා.

වත්මන් ජනාධිපතිතුමා අග්‍රාමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ 2018 වසරේදීත් නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල විකිණීම සම්බන්ධයෙන් අවධානය යොමුවුණා අපට මතකයි. අපි දැක්කා විදේශිකයෝ පවා මේ පෞරාණික ගොඩනැගිල්ල විකුනනවාට එරෙහිව අදහස් පළ කරනවා. විරෝධතා පවත්වනවා.  විවිධ ගැටලු වලදී රටේ, විශේෂයෙන් ජනතාවගේ යහපත උදෙසා කටයුතු කරන්නැයි මහා සංඝරත්නය වශයෙන් අප කොතෙක් අනුශාසනා කළද බොහෝ දේශපාලනඥයෝ ඒ පිළිබඳව අවධානය යොමු නොකිරීම කණගාටුවට කරුණක්. අප කොතෙක් අනුශාසනා කළ ඒ අය ඒ අයට අවශ්‍ය ගමන යන්න තමයි උත්සාහ කරන්නේ.                                                                         

මහා සංඝ රත්නය වශයෙන් අප මේ පිළිබඳව ඔවුන් දැනුවත් කළත් පලක් වේවිද කියලා කියන්න බෑ. වරායට, ත්‍රිකුණාමලේ තෙල් ටැංකිවලට උනෙත් ඔය දේම තමයි. නුවරඑළියෙ තවත් ඉඩ තියෙන තැනක තැපැල් කන්තෝරුව වගේ ආකෘතියට හෝටලයක් හදලා සංචාරකයෝ ගෙන්නන්න පුළුවන්නේ . යනුවෙන් සඳහන් කළ නා හිමියෝ ලංකාව පුරා පිහිටි පෞරාණික තැපැල් ගොඩනැගිලි සියල්ලම විකිණීම සඳහා රජය කටයුතු කරන්නේ දැයි යනුවෙන්ද වෘත්තීය සමිති නියෝජිතයන්ගෙන් විමසා සිටියා.

වෘත්තීය සමිති නියෝජිතයෝ මෙහිදී සඳහන් කළේ එම සියලු පෞරාණික ගොඩනැගිලි මෙන්ම රටේ සම්පත් රැසක් අලෙවි කිරීම සඳහා මේ වන විට රජය පිඹුරුපත් සකසමින් සිටින බවයි.