hit counter

2025 මැයි මස 12 වන සඳුදා

2024 පෙබරවාරි 19, ප.ව. 3:56



සහජීවනයෙන් ජීවත් වූ මෙරට ජනතාව අතර ජාති ආගම් ගැටුම් ඇති කිරීමට මූලික වූයේ බලලෝභි දේශපාලඥයෝ බව මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේ අවධාරණය කරයි.                                                           

ශ්‍රී ලංකාවේ සත්‍ය, සමගිය හා ප්‍රතිසන්ධානය සඳහා වන කොමිෂන් සභාවේ නියෝජිත පිරිසක් 19 දා උන්වහන්සේ බැහැදුටු අවස්ථාවේ නාහිමියෝ ඉහත අදහස් පළ කළා.                                                         

තවදුරටත් අදහස් පළ කළ නා හිමියෝ මෙසේ ද සඳහන් කළා.

මේ ජාතික සමගිය, ආගමික සමගිය, උතුරේ ගැටලුව වගේම තවත් ජාතික ප්‍රශ්න පිළිබඳ  උත්තර හොයන්න කොමිසම් කීයක් පත් කළාද. ඔය එකකින්වත් වැඩක් වුනාද. නිකන් මුදල් වියදම් කළා විතරයි. මේ රටේ ජාතික සමගිය ආගමික සමගිය නැති කරන්න කටයුතු කළේ කවුද. බල ලෝභී දේශපාලඥයෝ ඒ අයගේ පැවැත්ම උදෙසා තමයි ජාති ආගම් වලින් වලට මුවා වෙලා තමයි ජනතාව අතර ප්‍රශ්න ඇති කරන්නේ. දේශපාලඥයෝ තමයි ජාතීන් අතර ගැටුම් ඇති කරන්නේ. ජනතාවට මේ සම්බන්ධයෙන් උනන්දුවක් නෑ. එදා වේල හොයාගෙන කන එක තමයි අද මේ රටේ මිනිස්සුන්ගේ එකම වුවමනාව. මොන කමිටු පත් කළත් මේ වගේ අන්තගාමී, ආගම්වාදී, ජාතිවාදී , බලලෝභි දේශපාලඥයෝ ඉන්නකම් මේ රටේ ජාතික සමගිය කවදාවත් හදන්න බෑ. රටේ පාලකයන්ට මේවා මතක් වෙන්නේ මැතිවරණයක් එනකොට විතරයි.

මම මේ නායක පදවියට පත්වුණේ 2004 වසරේදීයි. එදා ඉඳලා කොයිතරම් අවවාද අනුශාසනා කරලා තියෙනවාද. ඊට වඩා හොඳයි, ගස් ගල් වලට අනුශාසනා කළානම්. මෙතනට ඇවිල්ලා එක කතාවක් කියනවා. ගිහින් කරන්නේ ඊට හාත්පසින්ම වෙනස් දේවල්. මේ මැතිවරණයක් අත ළඟ තියාගෙන විධායක ජනාධිපති ක්රමය අහෝසි කරන්න පුළුවන්ද. මේවා මහ බොරු වැඩ. මහා සංඝරත්නය වගේම මේ රටේ ජනතාව හැමදාම රැවැට්ටුවා. මේ දේශපාලනඥයෝ එදා කළෙත් ඒක. අද කරන්නෙත් ඒකම තමයි. මේ රට අද ආර්ථීක වශයෙන් කඩා වැටිලත් හැම තැනම තියෙන්නේ වංචා දූෂණ  කොමිස්ගැහිලි තමයි. රට ගෙන ආදරයෙන් වැඩ කරන්නේ කවුද. රාජ්ය නිලධාරියෝ කරන වැරදි සම්බන්ධයෙන් අද දේශපාලනඥයෝ වචනයක්වත් කතා කරනවද. මේ රටේ කඩා වැටීමට දේශපාලනඥයෝ වගේම රාජ්ය නිලධාරිනුත් වගකිවයුතුයි. මහජනතාව අන්ත අසරණ වෙලා දුක් විඳිද්දී රාජ්ය නිලධාරීන්, දේශපාලනඥයන් විතරක් හැම සැප පහසුකමක්ම විඳිනවා. මේවා සාධාරණද. කිසි කෙනෙක් මේ රට ගැන හිතලා කටයුතු කරනවද. පුද්ගලික වාසියට බලතන්හාවට විතරයි කටයුතු කරන්නේ. ජාතික සමගිය එදා ඉදලා රටේ ජනතාව අතර තිබුණා.

දේශපාලනඥයෝ තමයි ඒක නැති කලේ. මුස්ලිම්, සිංහල, දෙමළ කියලා පාසල්  හදලා පොඩි කාලෙ ඉඳලම ජාති ආගම් බේද ඇති කළා. ඡන්ද කඩා වඩා ගන්න තමයි මේ දේවල් කලේ. රට ගැන හිතුවේ නෑ. මේ කලබල වලට ප්රථමයෙන් යාපනයේ කොයිතරම් සිංහල මිනිස්සු හිටියද. සිංහල අය ව්යාපාර කළා. සිංහල පාසල් තිබුණා. අද ඒ ව්යාපාරිකයන්ට යාපනේ ව්යාපාර කරන්න ඉඩ දෙනවද. ඒවට දේශපාලනඥයෝ තහංචි දාලා. ඉපැරණි ආගමික සිද්ධස්ථාන කඩා බිඳ දානවා. ඉතින් කොහොමද ආගමික සංහිඳියාවක් ඇතිවෙන්නෙ. මේවා ඔක්කොම බොරු වැඩ. මැතිවරණයක් එනකොට මිනිස්සු රවටන්න සිදුකරන දේවල් කියලා තමයි අපි හිතන්නේ.                                                                                                

මෙහි දී අදහස් දැක් වූ සත්‍ය, සමඟිය සහ ප්‍රතිසන්ධානය සඳහා වන අන්තර්වාර ලේකම් කාර්යාලයේ අධ්යක්ෂ ජනරාල් ජනාධිපති නීතීඥ අසංග ගුණවංශ මහතා මෙසේ සඳහන් කළා.

රටට සාමය අවශ්‍යයි. සත්‍ය සොයා ගැනීම අවශ්‍යයි. නැවත ඉදිරියේ දී මේ වගේ දේවල් නොවෙන්න පසුබිම සැකසිය යුතුයි. මේ කියනා කාරනා වලට අපි සියලු දෙනා එකඟයි. ඒ සඳහා ක්‍රියාවලියක් අවශ්‍යයි. නමුත් ඒක තාමත් ඇතිවෙලා නැහැ. ස්වාධීන කොමිෂන් සභාව පිහිටුවීම සඳහා වන ක්‍රියාවලිය මගින් අපි මේ උත්සහ කරන්නේ එම යාන්ත්‍රණය සකස් කර ගැනීමටයි. මේ නීති කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා සම්මත වුණාට පස්සේ ස්වාධීන කොමිසමක් පත් කරලා ඒ ඔස්සේ රටේ සාමය, සමඟිය හා ප්‍රතිසන්ධානය ඇති කිරීමට පියවර ගැනීම තමයි මේ වැඩපිළිවෙළේ අරමුණ.උතුරු නැගෙනහිර ප්රශ්නය නිසා නොයෙකුත් ගැටලු වලට මුහුණදුන් අය තාමත් ඒ ප්‍රශ්න වලින් පීඩා විඳනවා. ඒවාට අපි විසඳුම් ලබාදිය යුතුයි. මේ ප්රශ්නය සිංහල දෙමළ සියලු ජනතාවට පොදු ප්රශ්නයක්. පෙර සිදුවූ දේ යළි නොවෙන්න නම් මේ පීඩාවට පත් වූ අයට යම් සාධාරණයක් ඉටුවිය යුතුයි. සත්ය සෙවීම සඳහා ජත්යන්තර මට්ටමින් පත්කර තිබූ කමිටු ගණනාවක අන්තර්ගතය අධ්යන්යය කරමින් අපි අදහස් ලබා ගත්තා. ඒ ඔස්සේ 2016-18 කාලයේ දී මේ සඳහා සකස් කළ නීතිය තවත් වැඩි දියුණු කර ඉදිරියට ගෙනවා. නීතියක් හැදුවට ඒක ක්රියාත්මක වෙත් දී ඒකට යටත් වෙන්නේ මහජනතාවයි. ඒ නිසා මහජන අදහස් මෙහි දී ලබා ගැනීම අත්යවශ්යයි. එක පක්ෂයකින් නොව සියලු පක්ෂ වලින් වගේම ආගමික නායකයින්ගෙන් අදහස් ලබා ගැනීම ඉතා වැදගත්. නීති කෙටුම්පතේ පිටපතක් අපි ලබා දුන්නා. වැඩිදුරටත් සංශෝධන අවශ්යය නම් ඒවා කරන්න අනුශාසනා කරන්න කියන ඉල්ලීම තමයි අපි අද මහනාහිමියන්ගෙන් කළේ.                  

මෙම කණ්ඩායම  අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමිපාණන් වහන්සේද  බැහැදුටු අතර උන්වහන්සේද මෙහිදී සඳහන් කළේ රටේ පරිපාලකයන්ට මෙවැනි දේ ඡන්ද කාලයට පමණක්  මතක් වන බවය. කුමන නීති ගෙනාවත් ආණ්ඩුවෙන් ආණ්ඩුවට වෙනස් වෙන බවද උන්වහන්සේ පැවසූවා.