hit counter

2024 දෙසැම්‍බර් මස 26 වන බ්‍රහස්පතින්දා

2024 නොවැම්‍බර් 21, පෙ.ව. 12:08



තමා දේශපාලනයෙන් ඉවත්වීම පවා ඇතැම් විට ඉදිරියේදී සිදුවිය හැකි බව හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂ පැවසීය.

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කළ ඒ මහතා කියා සිටියේ පාර්ලිමේන්තුවේ සිටින 225 දෙනාම දූෂිතයන් බවට මතයක් පසුගිය සමයේ ගොඩනැගුණු බැවින් එම ගොන්නට එකතුවීමට අවශ්‍යතාවයක් තමාට කිසිසේත්ම නොමැති බවය.                                              

තව දුරටත් අදහස් පළ කළ හිටපු අමාත්‍යවරයා මෙසේද කීය. කිසිවෙක් රට භාර ගැනීමට අකමැති වූ අවස්ථාවේ අප ඇතුළු කණ්ඩායමක් ඉදිරිපත් වෙලා ඒ වගකීම බාරගෙන රට අද පවතින ස්ථාවර තත්ත්වයකට ගෙන ඒමට කටයුතු කළා. නමුත් පසුගියදා මල්වත්තේ මහා නායක හිමියෝ පවා ප්‍රකාශයක් කළා පසුගිය රජයේ අමාත්‍යවරු රටට කිසිම වැදගත් වන වැඩක් නොකළ බවට. උන්වහන්සේ පවා ඒ ආකාරයෙන් අදහස් පළ කරනවානම් තවදුරටත් මේ දේශපාලනයේ රැඳී සිටීම කිසිම තේරුමක් නොමැති වැඩක් බව මා හිතනවා. මට මගේ පුද්ගලික වැඩ කටයුතු රාශියක් තියෙනවා බලාගන්න. මට දැන් ඒවා බලාගන්න පුළුවන්. මා සෑම විටකම වරප්‍රසාද නොතකා රට වෙනුවෙන් දේශපාලනය කළ අයෙක්. නමුත් මා මෙවර ජන්දයට ඉදිරිපත් නොවීමට කල්පනා කලේ මේ පසුබිම නිසයි.                                                                           

පසුගිය සමයේ ජනතා විමුක්ති පෙරමුණට හැර අනෙක් කිසිදු දේශපාලන පක්ෂයක් තුල ප්‍රතිපත්තිගරුක නායකයෙක් හිටියේ නෑ. ඒ නිසයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැවත ගොඩ අරගෙන ප්‍රතිපත්තිගරුක  දේශපාලනයක් කරන්න මම ජනාධිපතිවරණයේදී උත්සාහ කළේ. නමුත් රටේ ජනතාව ඒ උත්සාහය ප්‍රතික්ෂේප කළා. මේ ඒකට අවස්ථාව නොවන බව පෙන්වා දුන්නා.                                              

එහෙම නැතුව මම ඇතැමුන්ගේ ලණු කාලා ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණේ නෑ. කඩා වැටී තිබුණු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැවත ගොඩ ගැනීමේ අවංක චේතනාවෙන් තමයි මම ඉදිරිපත් වුණේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්පූර්ණයෙන් විනාශ කිරීමේ වගකීම මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රිපාල සිරිසේන එක එල්ලේම ගත යුතුයි. මේ දෙන්නා තමයි මේ පක්ෂය සම්පූර්ණ විනාශ කළේ.                                         

අද මේ රජය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගැන කතා කරනවා. මම හිතන විදියට නම් දැන් ප්‍රධානම කාර්ය වෙන්න ඕනේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නොව රටේ ආර්ථිකය ගොඩනැගීමයි. එහෙම නොකළහොත් රජයට පාර්ලිමේන්තුව පවා පවත්වාගෙන යෑමේ ගැටලු උද්ගත වෙන්න පුළුවන්. දැන් ඇතැම් අය කියනවා . විද්‍යානුකූල අමාත්‍ය මණ්ඩලයක් පත් කළා කියලා. මේ ලෝකෙ කිසිම රටක විද්‍යානුකූල අමාත්‍ය මණ්ඩලයක් නෑ. එහෙම නම් රටේ ජනතාව විද්‍යානුකූලව තමයි මහජන නියෝජිතයෝ පත් කළ යුත්තේ. එහෙම දෙයක් වෙන්නෙ නෑනෙ. හැබැයි විෂය පථය සම්බන්ධයෙන් යම් දැනුමක් තියෙන අය කීප දෙනෙක් අමාත්‍ය මණ්ඩලයේ ඉන්නවා. අනෙක් අයට තමන්ගේ විෂය පථය සම්බන්ධයෙන් දැනුමත් තියෙනවද කියන්න මම දන්නෙ නෑ. අපි බලාගෙන ඉමු ඉදිරියට මොනවද වෙන්නේ කියල. හැබැයි රට වෙනුවෙන් මගේ සේවයක් බලාපොරොත්තු වෙනවා නම් ඒ සේවය ඕනෑම අවස්ථාවක ලබා දෙන්න මම සූදානම්.

මේ ආකාරයෙන් නව දේශපාලන පක්ෂයකට තුනෙන් දෙකකට වඩා බරපතළ බලයක් ලබාදීමට බලපෑ හේතු රාශියක් තියෙනවා. ඒකට ප්‍රධාන හේතුවක් තමයි බලයට පත්වූ කිසිදු විධායක ජනාධිපතිවරයෙක් දෙවනපෙල නායකත්වයකට හිස ඔසවන්න නොදී මර්දනය කිරීම. මේ හේතුවෙන් ඇතැම් විට මේ දෙවන පෙළ නායකයෝ ඝාතනය වුණා. ඒ නිසයි පසුගිය මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක මන්ත්‍රී ධූරයකට සීමා වුණේ. නිදහසෙන් පසු තට්ටු මාරු ක්‍රමයට මේ රට පාලනය කළ ප්‍රධාන පක්ෂ දෙක විනාශ කළේ තමන්ගේ පක්ෂ විතරක් නෙවෙයි. ඔවුන් මේ රටත් විනාශ කළා. කටේ ආර්ථිකය සුනු විසුණු කරලා බං කළොත් කලා. ඉතිං පසුගිය ජනාධිපතිවරණයේදී රටේ ජනතාවට තෝරා ගැනීමට වෙනත් විකල්පයක් තිබුණේ නෑ. ඉතිහාසයේ ප්‍රථම වරට පාර්ලිමේන්තුවේ වැඩිම බලයක් නව දේශපාලන පක්ෂයකට ලබා දෙන ආකාරයෙන් තමයි ජනතාවගේ පීඩනය පුපුරා ගියේ. හැබැයි අපේ රටේ දේශපාලන ඉතිහාසයේ කිසිම රජයකට පැවරුනේ නැති තරමේ වගකීමක් ජනතාව මේ රජයට පවරලා තියෙනවා. රට ඉදිරියට ගෙන යෑමේ වගකීම භාර දීලා තිබෙනවා. ඒ ගමන යනකොට විශාල අභියෝග ප්‍රශ්න රැසකට මේ රජයට මුහුණ දෙන්න වෙනවා. ජනතාව බලාපොරොත්තු කන්දරාවක් හිතේ තියාගෙන තමයි රජය බලයට ගෙනාවේ. ඒ ජනතා බලාපොරොත්තු ඉටු කිරීමේ වගකීම රජයට තිබෙනවා.                                                                                                          

කෙසේ වුවත් මේ නව ප්‍රවණතාවය කොයි ආකාරයෙන් කටයුතු කරයිද කියලා අපි බලාගෙන ඉන්නවා. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එනවා නම් ඊට වසරකට වඩා කාලයක් යනවා. ඒ සඳහා තුනෙන් දෙකක කැමැත්ත වගේම ජනමත විචාරණයක කැමැත්ත ගන්න වෙනවා. මොන වගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදනවද කියලා රජය තවමත් රටට හෙළි කරලා නෑ. රටට වාසිදායක ඓතිහාසික ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දෙකක් අපි ගෙනල්ලා තියෙනවා. ඒ තමයි 19 හා 21 වන ව්‍යවස්ථා සංශෝධන දෙක. හැබැයි මේ වෙලාවේ මගේ අදහස ආණ්ඩුක්‍රමය ව්‍යවස්ථාවකට වඩා රටේ ආර්ථිකය ගොඩනැගීම සඳහා යම්කිසි ස්ථාවර වැඩපිළිවෙලකට එළඹෙන එකයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: