hit counter

2024 මැයි මස 16 වන බ්‍රහස්පතින්දා

2023 පෙබරවාරි 09, ප.ව. 1:02



අමාරු මොහොතේ අතහැර යන කියන කිසියම් වෘත්තිකයෙකු වේ නම් ඔවුන් මේ රටට ආපසු නො පැමිණිය යුතු බව සංචාරක රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය ඉල්ලා සිටියා.

රට මේ මොහොතේ ඉතා අසීරු තත්වයක ඇතැයිද වෘත්තිකයන්ගේ සේවය රටට අත්‍යවශ්‍යම මොහොතක් උදා වී ඇතැයිද පැවසුවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ රාජාසන කතාවෙන් පසු පාර්ලිමේන්තු සංකීර්ණයේ දී මාධ්‍ය අමතමිනි ඇය මේ බව කියා සිටියා.

එහිදී ඇය මෙසේ ද අදහස් දක්වා සිටියා,

ඇත්තටම අද ජනාධිපතිතුමාගේ මේ කතාව අපිට ගත යුතු ගොඩාක් දේවල් මේකේ තියෙනවා. එතුමා මේ පාර මේ කියපු කතාව මම හිතන්නේ සියලුම පාර්ලිමේන්තුව අපේ තිබ්බ සැසිවාර නැවත පටන් ගන්නකොට තිබ්බ කතා වලට වැඩිය ගොඩක් වෙනස් කතාවක්. ඒ කියන්නේ මේක ප්‍රැක්ටිකල් කතාවක්. මේක මේ ප්‍රායෝගික දේවල් ටිකක් කිව්වේ. ඉතින් ඇත්තටම මේවා අපිට කරන්න පුළුවන්. මං ගොඩක්ම එතුමා කියපු කතාවක් මම හොඳටම මට වැදුණ තැනක් තමයි මේ රට දාලා යන මිනිස්සු.

ඇත්තටම මේ රට මිනිස්සු මේ විදියට දාලා යන්න ගියොත් මේ උගත් මිනිස්සු, අපිට දැනට මේ බ්‍රේන් ට්‍රේන් එකක් තියෙන්නේ. මේ රටේ මේ ඉන්න මිනිස්සු ටික මේ දොස්තරලා වගේ අපිට වැදගත්ම අත්‍යවශ්‍ය මොහොත මේ රටට. මෙහෙම දාලා මම නම් කියන්න කැමතියි ඒ මිනිස්සුන්ට ආයෙත් එන්න එපා මේ රටට. මොකද අපිට ඔයගොල්ලෝ වගේ අය අවශ්‍ය නැහැ. රට අමාරුයි තමයි. ජනාධිපතිතුමා කිව්වා වගේ අපිට ජීවත් වෙන්න අමාරුයි.

ගොඩාක් ප්‍රශ්න තියෙනවා මේ රටේ. හැබැයි මේක අවුරුදු ගාණක් තිස්සේ එකතුවෙලා ඇවිල්ලා පිපිරුණු බෝම්බයක් වගේ. මේ වෙලාව. මේ රටේ ආර්ථිකයට වුණේ. ඉතින් මේක මේ ජනාධිපතිතුමාවත් එක්කෙනෙක්, දෙන්නෙක්ගේ හින්දාවත් වෙච්ච දෙයක් නෙමෙයි. මේක අවුරුදු ගාණක් තිස්සේ එන දෙයක්. ඉතින් ඒක හින්දා එතුමා කිව්වා වගේ තව ටිකක් ඉවසගෙන ඉඳලා, මේ රට වෙනුවෙන් අපි රටට ආදරෙයි නම්, අපිට රටක් ගැන හිතනවා නම්, අපිට මේ රට ගොඩ දාන්න ඕන්නම් අපි මේ රටේ ඉන්න ඕනේ.

අපිටත් පුළුවන් මේ රට දාලා යන්න. අපිට ඕන රටකට ගිහිල්ලා ජීවත් වෙන්නත් පුළුවන්. හැබැයි මම නම් මේ රටේ කවදාවත් දාලා යන්නෙත් නැහැ. මේ රට මම මැරෙන්නෙත් මේ රටේ. මම කියන්නේ මේ රටේ අපිට අවශ්‍ය, මේ විද්වතුන් මේ රට දාලා යන්න එපා. අපිව මේ වෙලාවේ ගොඩගන්න ඉන්න ඕගොල්ලන් මේ රටේ ඉන්න. ඒ සහයෝගය එතුමාටත් අපි සියලු දෙනාත් එකතු වෙලා, එතුමාට ඒ සහයෝගය දීලා අපි මේ රට ගොඩ දාමු.

අනිත් එක විශේෂයෙන්ම කඳුකර වල, ඒ කම්කරුවෝ, ඒ ඒ මිනිසුන් ගැන, දෙමළ, දමිළ කතා කරපු විදිහ. ඒ මිනිස්සුන්ට ඒ අයිතිවාසිකම් අපි දෙන්න ඕනේ. ඒ මිනිස්සු අපේ රටට දායකත්වයක් දීලා තියෙනවා කිව්වා වගේ අවුරුදු දෙසීයක. ඒ දායකත්වය වෙනුවෙන් අපි ඇත්තටම මේ මිනිස්සුන්ට සලකන්න ඕනේ. ඒ මිනිස්සුන්ගේ අයිතිවාසිකම් ලබා දෙන්න ඕනේ. ඒ මිනිස්සුන්ව බලන්න ඕනේ. ඒ විදියට අපි ඒකීය රටක් විදිහට ජීවිතයේ මේ රට දැන් නැවත හිතන්න පටන් ගන්න කාලේ ඇවිත්.”