hit counter

2024 ජූලි මස 03 වන බදාදා

2024 ජූලි 01, ප.ව. 9:59



ඉදිරියේ දී කුමන හෝ මැතිවරණයක් පවත්වා ජනතා තීන්දුව ප්‍රකාශයට පත්කරන තෙක් වත්මන් ආණ්ඩුවට වැටෙන්න ඉඩනොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක සහ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතීඥ නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

එය ජනාධිපතිවරණය හෝ පාර්ලිමේන්තු මැතිවරණය හෝ ගනු ලබන දේශපාලන තීන්දුවක් මත තීරණය කළහැකි බව පෙන්වාදෙන ඒ මහතා ඉදිරියේ තම පක්ෂය විසින් ගොඩනඟන ආණ්ඩුවක් තුළ මේ රටේ ග්‍රාමීය ආර්ථිකය තුළ ගොවියා, ධීවරයා, කම්කරුවා ආරක්ෂා කරන බවද රාජ්‍ය සේවකයාට නිසි ගෞරවය ලබාදෙන බවද පවසයි.

ඒ මහතා මේ බව සදහන් කළේ අගලවත්තේ දී පෙරේදා (29) පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් “අගලවත්ත” ආසන සමුළුව අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් පළකළ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා,

අපි දේශපාලන පක්ෂයක් විදියට විශාල ජයග්‍රහණ ලබා තිබෙනවා. අපි හැම අවස්ථාවකම මේ රටට ගැලපෙන සහ රට ගැන හිතලා දේශපාලන තීන්දු තීරණ ගත්ත දේශපාලන බලවේගයක්. අපි අභියෝගවලට මුහුණ දීලා තිබෙනවා. 2005 වසරේ දී මහින්ද රාජපක්ෂ මහතා මේ රටේ ජනාධිපතිවරයා බවට පත්වන විට එතනින් ආසප්පට පැමිණි හැම දේශපාලන පක්ෂයක්ම බලයට ආවේ සාමය ගේන්නයි. සාමය ඇති කරන්නයි. යුද්ධය අවසන් කරන්නයි. නමුත් කරගන්න බැරිවුණා. සමහර දේශපාලන පක්ෂ යුද්ධය වවාගෙන කෑවා. මොකද ඒ අයගේ පැවැත්ම තිබුණේ යුද්ධය තිබෙන තාක්කල් කියන එකයි විශ්වාස කළේ. නමුත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඒ අභියෝගයට මුහුණ දුන්නා. අපි ජයග්‍රහණය කළා. මේ රට දකුණු ආසියාවේ දුප්පත්ම රට බවට පත්වෙලා තිබුණා. මායිම් ගම්මානවල ජීවත්වුණු ජනතාවක් සිටියා. නමුත් එදා මහින්ද රාජපක්ෂ යුගයේ ග්‍රාමීය ආර්ථිකය නංවාලන්න, ගම හදන සටනට නායකත්වය දුන්නා. ගමේ පාර හැදුවා. ඇල වේලි හැදුනා. කෘෂීකර්මාන්තය දියුණු වුණා.

ගම්මාන දුප්පත් ගම් ලෙස හදුන්වාදී තිබුණේ. වතුපිටි තිබුණු කිහිපදෙනෙක් හිටියා. නමුත් විදුලිය නොමැති, යටිතල පහසුකම් නොමැති ගම්මාන තමයි තිබුණේ. මේ තත්ත්වය ක්‍රමයෙන් වෙනස් කරන්න අපේ ආණ්ඩුවට හැකියාව ලැබුණා. අපිව පරාජය කරන්න කටයුතු කළා. අපිව පරාජය කළේ අපිව බෙදලා. අපේ පක්ෂය එදා දෙකට කැඩුවා. බටහිර වශයෙන් හෝ ජාත්‍යන්තර වශයෙන් කුමන්ත්‍රණ ක්‍රියාත්මක වුණා කියන එක පිළිබඳව අමුතුවෙන් මතක් කළයුතු නැහැ. ඒ බෙදුවේ ඔබ අපි නියෝජනය කළ දේශපාලන කඳවුරයි. ඒ තමයි මේ රටට ආදරය කරන දේශපාලන කඳවුර. වාමාංශික දේශපාලන කඳවුර. මේ රටේ ආගම දහම නිරන්තරයෙන් රකින්න කටයුතු කළ දේශපාලන කඳවුර. ඒ බෙදීමත් සමඟ අපේ රටේ දේශපාලන සංස්කෘතිය වගේම සංස්කෘතිය ක්‍රමයෙන් වෙනස් වන්න පටන් ගත්තා. අපි නවීකරණය වෙනුවට බටහිරකරණය වෙන්න පටන් ගත්තා. ඒ තුළ අපිට ආර්ථික වර්ධනයක් ඇති වුණෙත් නැහැ. සමාජ වශයෙන් පිරිහුනා. අනෙක් පැත්තෙන් පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ල වුණා. ත්‍රස්ත බියක් නොමැතිව තිබූ රටේ තමන්ගේ දරුවා වෙනුවෙන් පාසල රකින්න අම්මාට තාත්තාට යන්න සිදුවුණා.

2019 වසරේ දී ගෝඨාභය රාජපක්ෂ මහතා බාරගත්තේ මහින්ද රාජපක්ෂ මහතා බාරදුන් රට නොවෙයි. වැටිච්ච රටක් බාරගන්න වුණේ. ඒ බාරගත් රටට අපි නොසිතූ විදියට කොවිඩ් 19 වසංගතය ආවා. ඒ අභියෝගයටත් අපි මුහුණ දුන්නා. ජීවිත බේරා ගත්තා. යහපාලන ආණ්ඩුවෙන් සාම්පූර් බලාගාරයත් උමා ඔයත් වෙලාවට අවසන්කර තිබුණා නම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවට විදුලිබල ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිදුවන්නේ නැහැ. විදුලි උත්පාදනයක් කළේ නැහැ. නමුත් අවසානයේ ඒක කඩන් වැටුණේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඇඟ උඩට. හැබැයි අරගල කළා. ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය නොවුණත් ජනතාවට පහර දීලා, මිනී මරලා බලය අල්ලාගෙන සිටින දේශපාලන බලවේගයක් නොවෙයි. වර්තමානයේ එවැනි ප්‍රතිපත්තියක් අපි දකින්නේ නැහැ. නමුත් දේශපාලනික වශයෙන් කෙතරම් වෙනස් ප්‍රතිපත්ති තිබුණ ද රාජ්‍ය ආරක්ෂා කිරීම සඳහා තීන්දුව ගත්තා. ඒ වගේම තමයි අපි ඒ ආණ්ඩුව වැටෙන්න දුන්නේ නැහැ. මැතිවරණයක් පවත්වා තීන්දුවක් ගන්නතෙක් වැටෙන්න දෙන්නේ නැහැ.

ඒක ජනාධිපතිවරණය හෝ පාර්ලිමේන්තු මැතිවරණය හෝ ගනු ලබන දේශපාලන තීන්දුවක් මත තීරණය කරන්න පුළුවන්. ඉදිරියේ අපි හදන ආණ්ඩුවක් තුළ මෙ රටේ ග්‍රාමීය ආර්ථිකය තුළ ගොවියා, ධීවරයා, කම්කරුවා ආරක්ෂා කරන්න ඕන. රාජ්‍ය සේවකයාට නිසි ගෞරවය දියයුතු වෙනවා. ගෞරවාන්විත සේවාවක් බවට පත්කළ යුතු වෙනවා. ඒකට තාක්ෂණය බද්ධ කොට රාජ්‍ය සේවකයා වගේම ජනතාවට සේවාවන් ලබාගැනීමට පහසු කළයුතු වෙනවා. ඒ තුළ පමණයි මේ රටේ රාජ්‍ය යාන්ත්‍රණය සක්‍රිය කළ හැක්කේ. රාජ්‍ය යාන්ත්‍රණය සක්‍රිය කළහැකි එකම ක්‍රමය තමයි රාජ්‍ය යාන්ත්‍රණය සමඟ තාක්ෂණය බද්ධ කිරීම. ඒ තුළ පමණයි අපි අපේක්ෂා කරන සංවර්ධනයක් ළඟාකර ගත හැක්කේ. අපේ වැඩිහිටියන් අපේක්ෂා කරන්නේ තමන්ගේ දරුවන්ට හොඳ ජීවිතයක්. ඔවුන්ගේ අධ්‍යාපනයට, පුහුණුවට, හැකියාවට සරිලන රැකියාවක්. තරුණයන් අපේක්ෂා කරන්නේ තමන්ගේ දහදිය, මහන්සියට සරිලන ආදායමක්. ඒ දහදිය මහන්සියට සරිලන ආදායමක් උත්පාදනය කරන ආර්ථිකයක් රටේ හැදෙනවා. එය හදන්න අවශ්‍ය වැඩපිළිවෙල අපි ළඟ තිබෙනවා.

එය පාරම්පරික, ගතානුගතික ක්‍රමවලට පමණක් සීමාවෙලා කරන්න බැහැ. අපි නවීකරණය වෙන්න ඕන. අපි නූතන ලෝකය සමඟ බද්ධ වියයුතු වෙනවා. නවීකරණ්‍ය යනු බටහිරකරණ්‍ය නොවෙයි. මේ රටේ රාජ්‍ය සම්පත් ආරක්ෂා කරන ගමන් විදේශ ආයෝජන හරහා ඒවා දියුණු කළයුතු වෙනවා. ඒ තුළ නව ආයෝජකයන් ආකර්ෂණය කොට රැකියා උත්පාදනය කළහැකි වැඩපිළිවෙලක් අපි සතුව තිබෙනවා. ඒ නිසා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියන්නේ හැමදාම මේ රටේ ජනතාව සහ රට ගැන සිතා තීන්දු තීරණ ගන්නවා. අපිට හොරා කිවුවා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට පැමිණ කිවුවා රාජපක්ෂවරු අයුතු ලෙස මුදල් උපයා ගත් කිසිඳු ගිණුමක් ලෝකයේ කිසිඳු රටක තිබෙනවා කියා සනාථ කරගන්න කිසිඳු සාක්ෂියක් හෝ පරීක්ෂණවලින් ඔප්පු වී නැහැ කියලා. මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරයා වුණා. අපිට විවිධ මඩ ගැසුවා. අපේ ආන්ඩුව වට්ටන්න එක් සටන් පාඨයක් වුණේ රතු පස්වල සිද්ධිය. ඒකට සම්බන්ධ රණවිරුවන් හිරේ දැම්මා. ඒ අය අධිකරණය ඉදිරියේ නිදොස් කොට නිදහස් වුණා.

එදා උත්සාහ කළේ කුමක් ද ? මේ තුළ අර්බුදයක් නිර්මාණය කරන්නයි. රතුපස්වල සිද්ධිය කේන්ද්‍ර කරගෙන ඇතැම් දේශපාලන පක්ෂ සිද්ධියක් නිර්මාණය කොට ඒ පක්ෂයේ සාමාජිකයන් ඒවාට ඉදිරිපත් වෙලා සිදුවීමක් ගොඩනඟලා, එම පක්ෂයේ නීතීඥවරු ඒ සම්බන්ධයෙන් උසාවියට ගොස් මේක දේශපාලනීකරණය කළා. ඒ තුළ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට ඡන්ද අඩුවෙන්න ඇති. නමුත් ඒ අසාධාරණය වුණේ මේ රටේ ජනතාවට. හැමදෙයක්ම දේශපාලනික වශයෙන් තමන්ට වාසි අත්කර ගන්න සමහර දේශපාලන පක්ෂ මේ රටේ රාජ්‍ය යාන්ත්‍රණය වගේම තරුණ පරම්පරාව මෙහෙයවන්න උත්සාහ කරනවා. අපි අරගලයෙන් දැක්කේ ඒ දෙයයි. ගෙවල් ගිනි තිබ්බා. මන්ත්‍රීවරුන් දේශපාලනික වශයෙන් යළි ඉදිරියට නොයයි කියා ඔවුන් සිදුවා. නමුත් අපේ මන්ත්‍රීවරු දේශපාලනික වශයෙන් තවත් ශක්තිමත් වෙලා ඒකරාශි වුණා. මේක තමයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ තිබෙන ශක්තිය. ඇතැම් විට බොහෝ අය තවමත් දෙගිඩියාවෙන් ඉන්නවා ඇති. අපි වැරැදි හදාගෙන නව ගමනක් යමු. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කිරීමට කටයුතු කරමු.

කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා,

මම පාසල් යන කාලයේ මේ ආසන්නයේ පාසල් ක්‍රීඩාංගණයේ දී පැවැති තුරුණු ශක්ති සංගීත ප්‍රසංගය සඳහා මම එදා නිවේදකයෙක් හැටියට තරඟයට ආවා. එදා මම අගලවත්තට පැමිණ කියූ දෙයින් කොටසක් මට මතකයි. මේ අගලවත්තේ ඉන්නේ උපන් බිමට ණය නැති සම්භාවණීය මිනිස්සු පිරිසක්. දැඩි රළු කළු ගලක සියුම් කැටයමක් නිර්මාණය කරනවා වගේ තමන්ගේ ජීවිතය ගොඩනඟමින් අපිට රබර් කිරි වගේම නෙලන තේ දල්ලෙන් ජාතික ආර්ථිකයට ශක්තිය දෙන ආදරණීය අගලවත්තේ සිට මම අද කතා කරනවා. දෛවයේ සරදමකට වගේ මම මේ අගලවත්ත නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් අද මම කතා කරනවා. මේ අහිංසක මිනිස්සු වෙනුවෙන් කළහැකි බොහෝ දේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් ඉටුකර තිබෙනවා. හොරවල හංදියෙන් මීගහතැන්නට යන්න පාරක් තිබුණේ නැහැ. ඇලවත්තෙන් නෙළුවට යන්න තිබුණේ කන්දක් විතරයි. මේ පාරවල් තිබුණේ නැහැ.

මිහිදු විද්‍යාලයේ සිට හොරපිටියට යනකල් මෙරිල් කාරියවසම් පාසලට යනකල් මේ පාසල් ටික හැදුවේ මහින්ද රාජපක්ෂ මහතායි. මේ හැම මිනිසෙකුටම සතුටින් සැනසිල්ලෙන් ජීවත් වෙන්න පුළුවන් රටක් හැදුවේ මහින්ද රාජපක්ෂ. රබර්වලට ආර්ථිකයක් හැදුවේ මහින්ද රාජපක්ෂ. තේ වලට මිලක් හැදුවේ මහින්ද රාජපක්ෂ. අපිට අපේ කියලා රටක් නිර්මාණය කර දුන්නේ ආදරණීය මහින්ද ජනාධිපතිතුමා. ඒක තමයි ඇත්ත. ඊළඟ ඕනම ඡන්දයකට පක්ෂය වෙනුවෙන් මහින්ද රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ මහත්වරු වෙනුවෙන් මේ ජනතාව වෙනුවෙන් මේ අගලවත්ත, සංජීව එදිරිමාන්න දිනවනවා. ඒ වෙනුවෙන් අපි යන ගමනට අලුත් හියයක් අද දෙනවා. මේ අගලවත්තේ තිබුණු විසල්ම ජන හමුවක් අද මේ තිබෙන්නේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතීඥ සාගර කාරියවසම්, රාජ්‍ය ඇමැති පියල් නිශාන්ත, කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන, බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්සකුට්ටිආරච්චි මහත්වරු ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.