2026 මාර්තු 15, පෙ.ව. 12:05
ඇය එදා වගේම අදත් ලාංකික ප්‍රේක්ෂක ප්‍රජාව තුළ උන්මාදයක් ඇති කරන්නට සමත් වුණු ශිල්පිනියක්. බියුලා ඩයස් , පසුගිය දවසක ඇයගේ පනස්වෙනි උපන්දිනය සමරමින් ලංකාවේ ප්‍රේක්ෂකයින් අතරට නැවතත් පැමිණුනා.
මේ අන්න ඒ විශේෂ දවස ගැන ඇය කියා තිබූ කතාවක්.
“අසූවැනි උපන්දිනය සමරලා උපන් රටට ස්තුති කරන්න හිතාගෙන ලංකාවට ගිය ගමන මට පුදුම ආස්වාදයක් ගෙන දුන්නා. මගේ රටේ ජනතාවගෙන් ලැබුණු ආදරය, පිළිගැනීම ගැන තවමත් පුදුමයි. මීට වසර පනස් එකකටත් පෙර තිරගත වුණු කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා අධ්‍යක්ෂණය කළ”දුලීකා” චිත්‍රපටයේ ‘ආදර මල් පවනේ – ඈ යන මේ ගමනේ..’ ගීතය ගයමින් ස්කූටි බයිසිකලයක නැඟලා මං කොළඹ පුරා පැදගෙන ගිය දර්ශන ගැන බොහෝ පිරිසක් මාත් එක්ක කතා කළා. මම ඒ බයිසිකලය පදින්න ඉගෙන ගත්තෙත් චිත්‍රපටයේ රූගත කිරීම්වලට ටිකකට කලින්. අධ්‍යක්ෂවරයා මගේ ළඟට ඒ බයිසිකලය ගෙනත් දීලා ඒක ස්ටාර්ට් කරන හැටි, පැදගෙන යන හැටි ටිකක් පුරුදු කළා. මම ටිකක් එහාට මෙහාට පැදලා පුරුදු වුණා. ‘හරි දැන් ගමු’ කියලා රූගත කිරීම් පටන් ගත්තා. වෑන් එකක පිටුපස දොර ඇරලා කැමරා ශිල්පියා හිටියා. මට කිවුවා වෑන් එක පිටුපසින් රඟපාමින් බයිසිකලය පැදගෙන එන්න කියලා. මම බයිසිකලය වෑන් එකේ වේගයටම පැදගෙන වෑන් එක පිටුපසින් ම ගියා. සමහර පාරවල්වල මං බයිසිකලය හැරෙවුවේ මාර්ග නීතිවත් බලන්නේ නැතිව. එහෙම පැදගෙන පැදගෙන යද්දි එක තැනක බයිසිකලය නැවතුණා. වෑන් එක මාව දාලා ගොඩාක් දුර ගිහින් ආපහු හරවගෙන ආවා. බයිසිකලේ තෙල් ඔක්කොම ඉවර වෙලා තිබුණා.”
‘දුලීකා’ චිත්‍රපටයේ රූගත කිරීම් අවසන් වූ වහා ම ඇය කැනඩාවට ගියා. චිත්‍රපටය තිරගත වෙද්දීත් ඇය ලංකාවේ සිටියේ නැහැ. ඒ නිසා ම ‘දුලීකා’ චිත්‍රපටයට ලැබුණු ප්‍රේක්ෂක ප්‍රතිචාර විඳගන්නට ඇයට නොහැකි වී තිබුණා.
“දුලීකා චරිතය ගැන මට ලොකු හැඟීමක් දැනෙන්න ගන්නේ චිත්‍රපටය තිරගත වෙලා වසර පනස් එකකට පස්සේ. ලංකාවේ ගත කළ කෙටි නිවාඩුවට මට ලැබුණු ආදරය ගැන මටම හරි පුදුම යි. ලංකාවේ ඉන්න ආස වුණත් මම ජීවත් වෙන්නේ සහ රැකියාව කරන්නේ කැනඩාවේ නිසා මට නවතින්න විදිහක් නැහැ. මොකද මං එනතුරු කැනඩාවේ බලාගෙන ඉන්න පිරිසකුත් ඉන්නවා. මම කැනඩාවේ ෙජ්‍යෂ්ඨ පුරවැසි මධ්‍යස්ථානවලට එන වැඩිහිටි අයටත්, දරුණු පිළිකා වැනි රෝගවලින් පීඩා විඳින අයටත්, වෛද්‍ය වාර්තා අනුව මරණයට දින නියමවෙලා තියෙන රෝගී අයටත් යෝග ව්‍යායාම උගන්වනවා. කැනඩා රාජ්‍ය අනුග්‍රහය ඒ මධ්‍යස්ථානවලට ලැබෙනවා. මටත් ඒ සඳහා රජයෙන් වැටුපක් ලැබෙනවා. ඒ වැටුප ලංකාවේ ලැබෙන වැටුපකට වඩා ගොඩාක් වැඩියි. මම යෝග ඉගැන්වීම් කරන්නේ වැටුපටත් වඩා සේවාවක් විදිහට හිතලා. සමහරු මට ඇවිත් කියනවා ඒ අය තව ජීවත් වෙන්නේ මෙච්චර කාලයයි කියලා වෛද්‍යවරයා කියනවා කියලා. මට ඒ කතා අහන්නත් දුකයි. ඒත් එයාලා මගේ ළඟට ඇවිත් බොහොම ආසාවෙන් මගෙන් යෝග ව්‍යායාම ඉගෙන ගන්නවා. අද පන්තියට එන කෙනා සමහර විට ඊළඟ දවසේ එන්නේ නැති වුණාම මම හොයලා බලනවා. ඒ කෙනා මියගිය බව දැන ගන්න ලැබෙනවා. ඉතින් එහෙම අයට දවසක් හරි සතුටින් ඉන්න ඉඩ සලසා දෙන එක තරම් සතුටක් මට නැහැ. තව මේ මධ්‍යස්ථානවලට රෝද පුටුවලින් එන අයත් ඉන්නවා. එයාලට මම වෙන ම ව්‍යායාම කරවනවා. මට වයස අවුරුදු අසූවක් කියලා පේන්නේ නැති බව ලංකාවේදී ගොඩාක් අය කිවුවා. මං හිතන්නේ මම කරන මේ සමාජ සත්කාරයන් නිසා එයාලගෙන් ලැබෙන ආශීර්වාදය මාව ලස්සනට තබන්න හේතු වෙලා ඇති. කැනඩාවේ මගේ ගෙදරත් යෝග මධ්‍යස්ථානයක් මම හදලා තියෙනවා. ඒකෙත් මම ඉක්මනින් ම නොමිලේ යෝග පන්ති පටන් ගන්නවා.”
බියුලා උපන්නේ මීගමුවේ වුවත් පසුව රාගම පදිංචියට පැමිණ ඇත. ඇය පවුලේ වැඩිමල් දරුවා ය. ඇයට මල්ලිලා සිව් දෙනෙකි. එක් නැඟණියකි. පියා ව්‍යාපාරිකයකු වූ අතර බියුලාගේ දක්ෂතාවලට ඉඩ දුන්නේ ය. බියුලාගේ නර්තන අංගවලට සුදුසු ඇඳුම් නිර්මාණය කර ඒවා මසා දුන්නේ බියුලාගේ මවයි.
“මම පුංචි ම කාලේ අපේ නිවස ආසන්නයේ පල්ලියක් ඉදිරිපිට තිබුණු පුංචි පාසලකට ගියේ. ඊට පස්සේ මාව නේවාසිකව නවත්වලා ගම්පොළ පාසලකට යැවුවා. පස්සේ ආයෙමත් රාගමට ඇවිත් කඳාන ශාන්ත සෙබස්තියන් විද්‍යාලයට ගියා. සාමාන්‍ය පෙළ විභාගය කරන්න කොටහේන යහපත් එඬේරාගේ කන්‍යාරාමයට දැම්මා. පාසලේ විවිධ උත්සවවලදි හවායන් නැටුම්, බැලේ නැටුම්, ස්පාඤ්ඤ නැටුම් කළා. බැලේ උගන්වපු ටීචර් මාව ‘මැක්ස් ස්කූල්’ කියලා එකකට දාලා තවත් හොඳට බැලේ ඉගෙන ගන්න කිවුවා. බැලේ සම්බන්ධයෙන් විභාගයකුත් කළා. මගේ මාමා නෙවිල් ප්‍රනාන්දු මාව ස්පාඤ්ඤ නැටුම් ඉගෙන ගන්න කියලා ‘ඩයනා ස්කූල් ඔෆ් ඩාන්සින්’ පාසලට යැවුවා. හීන්බබා ගුරුන්නාන්සේ ළඟට ගිහින් මම උඩරට නර්තනයත් ඉගෙන ගත්තා. නැටුම් නිසා තමයි මට චිත්‍රපටවලට අවස්ථාව ලැබෙන්නේ. මම රඟපාන්න එච්චර කැමති නැතත් රඟපාන්න පුළුවන් කියන විශ්වාසය මට තිබුණා. චිත්‍රපටයේ එක දර්ශනයකදී මම කන්දක් උඩින් පහළට වැටිලා බිම දිගේ පෙරළි පෙරළි ඇවිත් ප්‍රධාන චරිතය රඟපෑ විජය කුමාරතුංගගේ අත උඩ මැරෙනවා. ඒක මම හොඳට කළේ රඟපෑම ගැන ඉගෙනගෙන නෙවෙයි. ඊට පස්සේ විජය මාව කන්ද උඩට ඔසවාගෙන යනවා. එහෙම උස්සගෙන ගිහින් විජය කිවුවා ‘අම්මෝ ඔයා හරි බරයිනේ’ කියලා. මම හොඳට ම හිනා. මම විජය එක්ක ‘දුලීකා’ චිත්‍රපටයේ රඟපාද්දි විජය ජනප්‍රියයි කියලා දැනගෙන හිටියේ නැහැ. ඔහුගෙන් මට ලොකු සහයක් ලැබුණා. අධ්‍යක්ෂවරයා, කැමරා ශිල්පීන් ඇතුළු හැමෝම මට උදවු කළා. ඒ කාලේ මලිනී ෆොන්සේකාත් ගොඩාක් ජනප්‍රිය වෙලා හිටියා කියලා මම දැනගෙන හිටියේ නැහැ. මාලිනී ෆොන්සේකාත් ඉඳහිට දර්ශනතලයට ඇවිත් විවේක වෙලාවට විජය කුමාරතුංග එක්ක කතා කර කර ඉන්නවා මම දැකල තියෙනවා. සිනමාපටයක වයසක කාන්තාවකගේ චරිතයක්, ගැමි කාන්තාවකගේ චරිතයක් ලැබුණොත් දැන් වුණත් මම රඟපාන්න ආසයි.”
‘දුලීකා’ චිත්‍රපටයට පසුව ‘හිතක පිපුණ මල්’, ‘ඉහත ආත්මය’, ‘හොඳයි නරකයි’ වගේ චිත්‍රපටවල නැටුම් අංගවලට බියුලා නර්තනයෙන් සම්බන්ධ වූවා ය. ඊට අමතරව ‘සිහසුන’ චිත්‍රපටයේ රඟපෑ මිස් කියොකෝ නමැති ජපන් කාන්තාවගේ චරිතයටත් බොහෝ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුණි. ‘සජා’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන සජා ලෙස රඟපෑවේද ඇයයි. ‘සසරක පැතුම’ චිත්‍රපටයේ පොලිස් ඔත්තුකාරියක ලෙස මෙන්ම ‘ජීවන ගීතය’, ‘යාර් අවර්’ කියන චිත්‍රපටවලටද ඇය රංගනයෙන් දායක වුණා.
2026 මාර්තු 14, පෙ.ව. 12:07
2026 මාර්තු 13, පෙ.ව. 12:07
2026 මාර්තු 12, පෙ.ව. 11:25
2026 මාර්තු 12, පෙ.ව. 8:48
2026 මාර්තු 12, පෙ.ව. 12:07
15-03-26
15-03-26
14-03-26
14-03-26
14-03-26
14-03-26
13-03-26
13-03-26
13-03-26
13-03-26
13-03-26
13-03-26
13-03-26
13-03-26
13-03-26
13-03-26
13-03-26
13-03-26
12-03-26
12-03-26
12-03-26
12-03-26
12-03-26
12-03-26