hit counter

2024 දෙසැම්‍බර් මස 02 වන සඳුදා

2022 ජූලි 25, ප.ව. 5:00



මීට වසර ගණනාවකට ඉහතදී කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් මෙරටට ඩොලර් ඉපයීම සඳහා ගොවීන්ට හඳුන්වා දී තිබූ වැල් දොඩම් වගාවේ සාර්ථක අස්වැන්න නෙලා විදේශ රටවලින් ඩොලර් ලැබෙන අවස්ථාව මේ වන විට විනාශ වීමේ බරපතළ තර්ජනයකට ගොවීන් මුහුණ පා ඇතැයි ගලේවෙල බඹරගස්ව වැව ප්‍රදේශයේ ගොවීන් පවසනවා.

වැල් දොඩම් වගාව මෙම ප්‍රදේශයේ විශාල ගොවීන් පිරිසක් විසින් සිදු කරගෙන යනු ලබන්නේ වසර ගණනාවක සිට බව ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළා.

මේ දිනවල පවතින අධික වියළි කාලගුණික තත්වය හේතුවෙන් වැල් දොඩම් වගාව සඳහා වතුර යෙදීමට භූමිතෙල් සහ ඩීසල් ලබා නොදීම නිසා මෙම වගාවේ අස්වැන්න ගස් යටම වැටී විනාශ වෙමින් පවතින බව ගලේවෙල බඹරගස්වැව ප්‍රදේශයේ වගාකරුවෝ පෙන්වා දෙනවා.

නිසි ලෙස පොහොර නොමැති වීම, විවිධ කෘමි නාශක වර්ග නොමැතිවීම නිසා වැල් දොඩම් වගාව දැඩි අසීරුතාවයකට පත්වෙමින් තිබෙන අවස්ථාවක ඉන්ධන පිරවුම්හල් වලින් වගාවට අවශ්‍ය භූමිතෙල් නොලැබීම නිසා වගා සියල්ල විනාශ වන බවත් ගොවීන් පෙන්වා දෙනවා.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විශාල මුදල්ක් වියදම් කොට මෙම ආර්ථික වගාව හඳුන්වා දී තිබෙන බවත් එවැනි අවස්ථාවක අඩුම තරමේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හෝ රජය වගකිව යුතු බලධාරීන් මෙම ඩොලර් ලැබෙන පලතුරු වගාවට අඩුම තරමේ ඉන්ධන ටික හෝ ලබා දීමට මැදිහත් වුවහොත් ගොවීන්ට පමණක් නොව රටටම ඩොලර් ලැබෙන බව මෙම ගොවීන් පෙන්වා දෙනවා.

විදේශ රටවල් රැසකට ඉහළ ඉල්ලුමක් ඇති මෙම වැල්දොඩම් අස්වැන්න මිල දී ගන්නා ව්‍යාපාරිකයින් කියා සිටියේ විදේශ රටවල පවතින ඉල්ලුම මේ දිනවල ඉහළ ගොස් ඇති බවත් සැපයුම ලබාදීමට නොහැකි වී ඇත්තේ ඉන්ධන අර්බුදය නිසාවෙන් බවයි.

කෙසේවෙතත් මෙරට ඩොලර් උපයන ගමේ අසරණ මිනිසුන් පිළිබඳව මීට වඩා රජය සැලකිලිමත්ව සොයා බැලීමක් සිදු කරන්නේ නම් ගොවීන් සිය දහස් ගණනාවක් අස්වැන්න නැවත වරක් පිටරට යවා ඩොලර් ගෙන්වා ගැනීමට හැකි බවත් එසේ නොවන්නේ නම් තමන් වගා කළ ඩොලර් මේ ආකාරයෙන් විනාශ වනු බව ඔවුන් දැඩි කනස්සල්ලෙන් යුතුව ප්‍රකාශ කර සිටියා.

දඹුල්ල – කාංචන කුමාර ආරියදාස

Example Image