hit counter

2026 සැප්‍තැම්‍බර් මස 18 වන සිකුරාදා

2026 සැප්‍තැම්‍බර් 18, පෙ.ව. 9:34



යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්චුනා මහතා පවසන්නේ තමන් “කොටියා” යන වචනය භාවිත කළේ සත්වයෙකු හැඳින්වීමට පමණක් බවත්, එම වචනය භාවිත කිරීම තුළින් එල්.ටී.ටී.ඊ. සංවිධානයට සහය පළ කිරීමක් අදහස් නොකළ බවත්ය.

තමන් කිසිදු අවස්ථාවක “කොටි ඩයස්පෝරාවක්” පිළිබඳව ප්‍රකාශ නොකළ බව අවධාරණය කරන මන්ත්‍රීවරයා, යමෙකු තමන්ගෙන් “ඔබ කොටියෙක්ද?” යනුවෙන් විමසුවහොත් එය පිළිගන්නා බවත්, තමන් වඩාත් ප්‍රිය කරන සත්වයා කොටියා බවත් පවසා තිබේ.

අලින්ට හෝ සර්පයන්ට ඇතැමුන් කැමති ආකාරයෙන් තමන් කොටියාට කැමති බවත්, සිංහල ජනතාව තමන්ව සිංහයන් ලෙස හඳුන්වා ගැනීමද සාමාන්‍ය කරුණක් බවත් අර්චුනා මහතා සඳහන් කර ඇත. තම ජංගම දුරකථනයේ පසුබිම් ඡායාරූපය ලෙසද කොටියෙකුගේ රුවක් භාවිත කරන බව ඔහු පවසා තිබේ.

ඩයස්පෝරාව සම්බන්ධයෙන් තමන් අදහස් කළේ විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකිකයන් පිළිබඳව බවත්, එයට දෙමළ, සිංහල සහ මුස්ලිම් ජනතාවද ඇතුළත් වන බවත් මන්ත්‍රීවරයා පැහැදිලි කර ඇත. තම ප්‍රකාශයේදී “කොටි ඩයස්පෝරාව” යන වචනය භාවිත නොකළ බවද ඔහු අවධාරණය කර තිබේ.

රට යළි ගොඩනැගීම සඳහා විදෙස්ගත ශ්‍රී ලාංකික ප්‍රජාවගෙන් අරමුදල් ලැබී ඇති බව සඳහන් කරමින්, එම මුදල් සම්බන්ධයෙන් තමන් ප්‍රශ්න කළ බවද අර්චුනා මහතා පවසා ඇත.

තමන් කිසිසේත්ම යළි අවි අතට ගැනීමට හෝ එල්.ටී.ටී.ඊ. සංවිධානයට සම්බන්ධ වීමට අදහසක් නොමැති බවද ඔහු අවධාරණය කර තිබේ. වෛද්‍යවරයකු ලෙස වසර ගණනාවක් කළුබෝවිල සහ පේරාදෙණිය ඇතුළු රෝහල්වල සේවය කරමින් සිංහල රෝගීන්ටද ප්‍රතිකාර කළ බව ඔහු සඳහන් කර ඇත.

මේ අතර, අනුරාධපුරයේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු රැළියකදී කළ බව කියන ප්‍රකාශ සම්බන්ධයෙන් එල්.ටී.ටී.ඊ. සංවිධානය ප්‍රවර්ධනය කිරීමේ චෝදනා මත පැමිණිල්ලක් ඉදිරිපත් වී ඇති අතර, එම විමර්ශනය ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වෙත භාරදී ඇති බව පොලිසිය සඳහන් කර ඇත.

අර්චුනා මහතා පවසන්නේ තමන්ගෙන් ප්‍රශ්න කිරීමට හෝ අත්අඩංගුවට ගැනීමට බිය නොවන බවත්, අවශ්‍ය නම් විමර්ශන අංශ හමුවේ පෙනී සිටීමට සූදානම් බවත්ය.   

තවද, සුළු සිදුවීම් පසුපස යාම වෙනුවට රටේ විශාල පරිමාණයේ වංචා සහ දූෂණ සම්බන්ධයෙන්ද නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඔහු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලා තිබේ.

මීට පෙර වත්මන් ආණ්ඩුව බලයට පත් කිරීම සඳහා ජනතාවගෙන් ඡන්දය ඉල්ලා සිටි තමන්, වත්මන් තත්ත්වය හමුවේ එලෙස ඉල්ලා සිටීම පිළිබඳව දැඩි කලකිරීමකට සහ ලැජ්ජාවකට පත්ව සිටින බවද අර්චුනා මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත.   





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: