hit counter

2026 සැප්‍තැම්‍බර් මස 30 වන බදාදා

2026 ඔක්‍තෝබර් 01, පෙ.ව. 12:10



කඩදාසි රහිත රේගු ප්‍රකාශන ක්‍රමවේදය දියත් කිරීමේ සමාරම්භක අවස්ථාව අද දින (01) දින ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීරගේ සහභාගීත්වයෙන් ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේදී සිදුකිරීමට නියමිතව ඇත.

ඒ ශ්‍රී ලංකා රේගුවේ සුවිශේෂී පරිවර්තනයක් සිදුකරමින්.

එබැවින් මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථීක සංවර්ධන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් දන්වා ඇත්තේ සියලු ආනයනකරුවන් සහ ප්‍රකාශකයින් විසින් සිය රේගු ප්‍රකාශන සහ අනෙකුත් අදාළ ලිපිගොනු වලංගු ඩිජිටල් අත්සන සහිතව යොමු කිරීම අනිවාර්ය බවයි.

එසේම පැරණි ක්‍රමයට යොමුකරනු ලබන රේගු ප්‍රකාශන භාර ගැනීම තවදුරටත් සිදුකරනු නොවනු ඇති බව සඳහන්.

එමෙන්ම රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ සහ රාජ්‍ය සේවා නවීකරණ වැඩපිළිවෙළේ ප්‍රධාන අංගයක් වන රාජ්‍ය සේවාවන් ඩිජිටල්කරණය කිරීමේ ක්‍රමවේදය යටතේ ආරම්භ කිරීමට නියමිත කඩදාසි රහිත රේගු ප්‍රකාශන ක්‍රමවේදයෙන් රේගු නිශ්කාෂණ ක්‍රියාවලිය යටතේ වඩාත් කාර්යක්ෂම, වේගවත් සහ විනිවිධභාවයෙන් යුතු සේවයක් ලබාදීමට හැකි වෙයි.

මෙම ඩිජිටල් අත්සන තැබීමෙන් අනතුරුව සිදු කෙරෙන වෙනස්කම් මෙම පද්ධතිය මඟින් හඳුනා ගනු ලබන බැවින් වංචා දූෂණ සඳහා අවස්ථාව අවම වීමද මෙහි විශේෂත්වයක් ලෙස සලකයි.

මේ අතර ශ්‍රී ලංකා රේගුව 2025 වසරේදී සිය ආදායම් ඉලක්කය අභිබවමින් රුපියල් බිලියන 2231ක ආදායමක් රැස් කිරීමට සමත් වූ අතර මෙම වසරේදී ගතවූ මාස 08 තුළදී ද සෑම මසකම තම අපේක්ෂිත ආදායම් ඉලක්කය අභිබවා ආදායම් රැස් කිරීමට සමත්කම් දක්වා ඇත.

ඒ අනුව මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථීක සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරන්නේ නව ඩිජිටල් ක්‍රමවේදය සමඟින් තවදුරටත් රේගු කටයුතු කාර්යක්ෂම වීම ඔස්සේ රේගුවේ ආදායම තවදුරටත් ඉහළ යනු ඇති බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: