2026 ඔක්තෝබර් 20, ප.ව. 1:53
කාන්තාවන්ට තමන් ගෞරව කරන නමුත්, කාන්තාවන්ට දේශපාලනය පිළිබඳව තිබෙන දැනුම අඩු බවත්, ඔවුන් රවටා ගැනීම පහසු බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්රී හරීන් ප්රනාන්දු මහතා පවසයි.
“කාන්තාවන්ට මම ගෞරව කරනවා. මගේ අම්මත් කාන්තාවක්. හැබැයි කාන්තාවෝ දන්න දේශපාලනය බොහොම පොඩ්ඩක් අඩුයි කියන මතයක් මට කියන්න වෙනවා. ගොඩක් වෙලාවට කාන්තාවෝ රවට්ටගන්න ලේසියි” යනුවෙන් ඔහු සඳහන් කළේය.
තමන් එසේ ප්රකාශ කිරීමත් සමඟ ඇතැම් පිරිස් විවේචන එල්ල කරන බව ද සඳහන් කළ හරීන් ප්රනාන්දු මහතා, රටේ වත්මන් තත්ත්වය ඇතිවීමට එම කාන්තාවන්ගේ දේශපාලන තීරණ ද හේතු වී ඇති බවට තමන් විශ්වාස කරන බව පැවසීය.
වත්මන් ආණ්ඩුවේ ක්රියාකලාපය පිළිබඳව අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, ආණ්ඩුව තවමත් තම වැඩපිළිවෙළේ ප්රතිඵල ජනතාවට පෙන්විය යුතු කාලයක සිටින බවයි.
“මම විශ්වාස කරනවා තාම ආණ්ඩුව වැඩ පෙන්නන්න ඕන කාලේ තමයි ඉන්නේ. මොකද විපක්ෂය කියලා තමයි ආණ්ඩුව හිතන් ඉන්නේ. ආණ්ඩුව හිතන්නේ නැහැ ආණ්ඩුවේ ඉන්නේ කියලා. ආණ්ඩුව විපක්ෂයේ කාර්යභාරය තමයි කරන්නේ” යනුවෙන් ඔහු ප්රකාශ කළේය.
එමෙන්ම, ආණ්ඩුවේ ශක්තියක් ලෙස කාන්තාවන් කටයුතු කරන බවත්, ඒ පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද අදහස් දක්වා ඇති බවත් හරීන් ප්රනාන්දු මහතා පැවසීය.
ආණ්ඩුවට රටේ සියලු දෙනාගේ සහයෝගය ලබාගෙන කටයුතු කිරීමට හැකි වූයේ නම් මීට වඩා හොඳ තැනකට රට ගෙන යාමට හැකියාව තිබූ බව ද ඔහු සඳහන් කළේය.
පසුගිය කාලයේ තමන් ඇතුළු පිරිස දේශපාලන වශයෙන් නිහඬව සිටි බව සඳහන් කළ ඔහු, තමන් ඇතුළු පිරිස වල් පැළ ලෙස ඉවත් කළ බවත්, දැන් අලුතින් පැළ සිටුවා එහි ප්රතිඵල ලැබෙන තුරු බලා සිටින බවත් උපමාවක් භාවිත කරමින් පැහැදිලි කළේය.
“අපි වල් පැළ හැටියට අපිව ශුද්ධ කළා. ඉතින් අපි දැන් වල් පැළ ගලවලා මල් පැළ වවලා, ඒ මල්වල පලදාව වෙනකන් බලාගෙන ඉන්නවා. අපිත් පොහොර ටිකක් දාලා බලාගෙන ඉන්නවා ඒ මල් පැළවල පලදාව එයි කියලා” යනුවෙන් ඔහු පැවසීය.
එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය අතර දේශපාලන සම්බන්ධතා පිළිබඳව අදහස් දක්වමින් හරීන් ප්රනාන්දු මහතා කියා සිටියේ, සමගි ජන බලවේගය සමඟ ඉක්මනින් එක්වීමේ අවශ්යතාවක් නොමැති බවයි.
සමගි ජන බලවේගය වෙනම පක්ෂයක් බවත්, පක්ෂ දෙක අතර ඇතැම් දේශපාලන ප්රතිපත්තිවල සමානකම් පැවතිය ද එක්සත් ජාතික පක්ෂය තම අනන්යතාව ගොඩනගා ගත යුතු බවත් ඔහු සඳහන් කළේය.
එක්සත් ජාතික පක්ෂයේ 80 වැනි සංවත්සරයත් සමඟ දිවයින පුරා නව වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව ද ඔහු පැවසීය.
“අපි ගිහිල්ලා සජබ, යූඑන්පී එකට ගිහිල්ලා හේත්තු වෙනවා වෙනුවට, මම කැමතියි එක්සත් ජාතික පක්ෂයේ සංවිධානය වෙනම තියාගන්න. රනිල් මහත්තයා අපිට බාර දුන්නොත් කරලා පෙන්නන්න පුළුවන්” යනුවෙන් හරීන් ප්රනාන්දු මහතා ප්රකාශ කළේය.
මේ අතර, මෙට්රෝ බස් සේවාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු පැවසුවේ, එම සේවාව රනිල් වික්රමසිංහ මහතා විසින් හඳුන්වා දුන් වැඩපිළිවෙළක් බවයි.
“මෙට්රෝ බස් සේවාවත් රනිල් වික්රමසිංහ ගෙනාවේ. ඒක හොඳයි. මම සතුටුයි ආණ්ඩුව ගැන. හැබැයි යන විදිහ ස්ලෝ වැඩියි” යනුවෙන් ඔහු සඳහන් කළේය.
රනිල් වික්රමසිංහ මහතා සමඟ පවතින සම්බන්ධතාව පිළිබඳව ද අදහස් දැක්වූ හරීන් ප්රනාන්දු මහතා, මේ වන විට ඔවුන් අතර සාකච්ඡා පැවැත්වෙන බවත්, මිත්රශීලී සම්බන්ධතාවක් පවතින බවත් පැවසීය.
එමෙන්ම, පසුගිය කාලයේ සිදු වූ ඇතැම් සිදුවීම් හේතුවෙන් රනිල් වික්රමසිංහ මහතා තුළ කලකිරීමක් ඇති වී තිබිය හැකි බවට තමන් විශ්වාස කරන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
2026 ඔක්තෝබර් 20, ප.ව. 3:19
2026 ඔක්තෝබර් 20, ප.ව. 3:02
2026 ඔක්තෝබර් 20, ප.ව. 3:00
2026 ඔක්තෝබර් 20, ප.ව. 2:46
2026 ඔක්තෝබර් 20, ප.ව. 12:27