2026 ඔක්තෝබර් 24, පෙ.ව. 12:32
කවිය, ගීතයට, ගුවන් විදුලි නාට්ය කලාවට, පුවත්පත් කලාවට, වේදිකාවට, සිනමාවට නව්ය අරුතක් එක්කළ කලාකරුවකු අප අතරින් වෙන්වී ලබන ඔක්තෝබර් 24 දාට වසර 40ක් සම්පූර්ණ වෙයි. මේ විරල ගණයේ කලාකරුවා තලංගම ප්රේමදාස නම් විය.
ඔහු, හෙළ කලා කෙතෙන් සමුගෙන ගිය ද, ඔහු ලියූ ගීත තවමත් ඉඳහිට ගුවන් විදුලියෙන් අපට ඇසෙයි. එවැනි මොහොතක දී අපට හැඟී යන්නේ මේ ප්රවීණ ගීත රචකයා, කවියා, නාට්ය රචකයා අදත් ජීවත්ව සිටියානම් ඔහුගෙන් බිහිවිය හැකිව තිබූ නිර්මාණයන්ගෙන් අද පරපුර කොතරම් ආස්වාදයක් ලබනවා ද යන්නයි.
1932 ජනවාරි 21 වැනි දා තලංගම දී උපන් ප්රේමදාස පෙරේරා, ගද්යයටත් පද්යයටත් ඇලුම් කළේ පාසල් වියෙහි පටන්ම ය. මුල් කාලයේ දී ඔහු ළමා පුවත්පත්වලට සහ සඟරා වලට ලිපි සහ කවි ලිව්ම ආරම්භ කළේ ය. 1954 දී කෝට්ටේ ක්රිස්තු විද්යාලයේ විශ්ව විද්යාල ප්රවේශ පන්තියේ දී සිප්සතර හැදෑරු අවධියේ හි දී පැවති විද්යාලයීය නිබන්ධ තරගයේ දී ඔහු අතින් ලියැවුණු පද්ය සංග්රහයකට එම විද්යාලයේ උසස්ම ත්යාගය හිමි වීම ඔහුගේ නිර්මාණ ජීවිතයට මහගු පිටුබලයක් වූයේ ය.
විශ්ව විද්යාල ප්රවේශ පන්තියේ සිටිද්දී ඔහු පුවත්පත්වලට ලිපි ලිවීම ආරම්භ කළේය. ඔහුගේ ලිපියක් මුලින්ම පළවූයේ 1952 දී සිළුමිණ පුවත්පතෙහි ය. ඉන්පසු දිගටම ‘ සිළුමිණට ලියූ ප්රේමදාස පෙරේරා ශිෂ්යයා ඒ අතර ‘ලංකාදීප’ වැනි පුවත්පත්වලට ද ලිපි ලියන්නට පටන් ගත්තේය.
ඔහු කවියට, කෙටිකතාවට ඇලුම් කළේ මේ අවධියේ හි දීය. ඒ නිසාම ගුවන් විදුලියෙන් ප්රචාරය වූ ‘පද්යාවලිය’ට වරින්වර කවි නිර්මාණය කළ අතර ‘ජනතා’ පුවත්පතට කෙටිකතා රැසක්ම නිර්මාණය කළේය.
ළමා සාහිත්යයට මෙහෙවරක් ඉටු කිරීමේ පරමාර්ථයෙන් උදය ළමා සඟරාවට විශේෂ ලිපි රැසක් සම්පාදනය කළ හෙතෙම, ‘බටහිර ලේඛකයෝ නමින් ලියු කෘතිය ද ළමා සාහිත්යයට එක්කළ මා හැඟි නිර්මාණයක් ලෙස හැඳින්විය හැකි ය. තලංගම ප්රේමදාස ලේඛකයාණන් විසින් ලියන ලද ළමා ග්රන්ථ තවත් රැසක් ඇත. ජගත් සුරංගනා කතා, ‘හයවතා’ (මෙය යුනෙස්කෝ සම්මාන දිනූ කෘතියකි.). අමරණීය පුද්ගලයෝ’ (ළමා වර්ෂ ලේකම් කාර්යාලයේ අනුග්රහයෙන් සිංහල ලේඛක සංවිධානය විසින් ජගත් ළමා වසර වෙනුවෙන් 1980 දී පවත්වන ලද ළමා පොත් ලිවීමේ තරඟයේ දී සාහිත්ය සම්මාන දිනූ කෘතියකි.). ‘රතු කිකිළි, ‘සීනි ගෙදර නපුරු ආච්චි’, ‘තලංගමගේ සිගිති ගී සීනු සාදන්නාගේ දුව හා වෙනත් ළමා කතා සුමිත්ගේ හපන්කම ගොනාට වෙච්ච දේ. ‘සින්ඩරෙල්ලා, ‘ඇලිස් දුටු විස්ම ලෝකය. ‘සමන් මලී’ වැනි පොත් ළමා සිත් පුබුදු කළ නිර්මාණයන්ය.
තලංගම ප්රේමදාස යන නාමය ශ්රාවකයන් අතර වඩාත් ප්රචලිත වූයේ ගුවන් විදුලිය නිසාය. ඔහු ගුවන් විදුලියට එක්වූයේ 1940 ගණන්වල දී ‘සිරි අයියා (යූ. ඒ. එස්. පෙරේරා) ගේ ළමා පිටියෙනි. 1964 දී පැවති ගුවන් විදුලි විචිත්රාංග තරගයෙන් මුල් තැන දිනාගත් මේ කලාකරුවා 1965 දී සද්ධර්මාලංකාරයෙන් නම් වූ නාට්ය මාලාවක් ද ගුවන් විදුලියට රචනා කළේ ය. ඩිංගිරි මැණිකා නවකතාව ගුවන් විදුලි නාට්යයක් ලෙස නිර්මාණය කළ ඔහු අතින් ලියැවී ඇති ගුවන් විදුලි විචිත්රාංග ප්රමාණය සියයකට අධිකය.
සිතුවිලි රේඛා, පද්ය තරංගනී, නව සඳක් තලංගම ප්රේමදාස නම් වූ කව්යා අතින් ලියැවුණු කාව්ය ග්රන්ථයන් ය. ඔහු ලියූ නවකතා පොත් අතර කැපී පෙනෙන්නේ ‘පාළු අඳුරු නිල් අහස මමයි’. මිහිර පැතූ ආදරේ, වැනි කෘතීන් ය. පූජෝපහාරය, සහ චීන මධුසමය’ ඔහුගේ කෙටිකතා ඇතුළත් කෘතීන් ය.
තලංගම ප්රේමදාස නම් වූ ගීත රචකයා වෙතින් බිහි වූ ගීත තවමත් ශ්රාවකයන්ගේ මනසින් ගිලිහී ගොස් නොමැත. ඒ අතරින් රෝහිත විජේසූරිය ඇතුලු පිරිස ගැයූ රන් විමනේ දොර හැරිලා සමුහ ගීතයක් වන රත්න දීප රත්නදීප ලංකා දීප සෝබනී. වික්ටර් Rත්නායක ගැයූ සිත් සනහාලන මුතුවන් වරුසා, විල්බට් ඇන්තනී ගැයූ හිරු පායා එන සුන්දර මොහොතක. ආනන්ද ජයවර්ධන ඇතුලු පිරිස ගැයූ ශ්රී ලංකා ධරණී සෝහනී මා නිජ බිම කමණි, බන්දුල විජේවීර ගැයූ මිතුරනි ඉපදුන සිංහල දේසේ අයිරින් ද අල්විස් ගැයූ ‘අලුත් ඉරක් අලුත් සඳක් සෝමතිලක ජයමහ ගැයූ බුදු හිමිගේ මුව කමලේ සහ දස බිම්බර මාර සෙනඟ ස්වර්ණලතා කවීශ්වර ගැයූ මත් ගිජිඳුන් වුව සිත් දමනය කළ, විචිත්රා මිගෙල් ගැයූ ළමා ගීතයක් වන ‘රාං කිරිල්ලී රාං කිරිල්ලී වැනි ගුවන් විදුලි ගීත තවමත් අපගේ මතකයෙන් බැහැර නොයයි. මේ ගීත රචකයා චිත්රපටයක් වෙනුවෙන් මුලින්ම ගියක් ලියුවේ කේ.ඒ.ඩබ්ලිව්. පෙරේරාගේ ‘බයිසිකල් හොරා’ චිත්රපටයට ය. ‘ජීවිත රෝදේ කැරකෙනවා නම් වූ එම ගීතය ජේ.ඒ. මිල්ටන් පෙරේරා විසින් ගයන ලදී. කතුරු මුවාත් චිත්රපටයේ තේමා ගීතය වන කතුරු මුවාත් පිහිය මුවාත් ලියැවුණේ ද මේ ගීත රචකයාගේම අතිනි. ඔහු ලියූ සුනිල් එදිරිසිංහ ගැයූ. සතිස්චන්ද්ර එදිරිසිංහගේ ‘අධිෂ්ඨාන චිත්රපටයෙහි එන ‘මායා මිරිගුව පිරුණු ලෝතලේ නම් වූ ගීතයට 1979 දී පැවැති මුල්ම ජනාධිපති සම්මාන උලෙළේ දී සම්මානයක් ද හිමි විය. තිමති වීරරත්න නිෂ්පාදනය කර අධ්යක්ෂණය කළ ‘රජ දවසක් චිත්ර පටයෙහි තිර නාටක රචකයා ද තලංගම ප්රේමදාස සූරීන් ය. මෙය ශ්රී වික්රම රාජසිංහ රජ සමය අළලා ලියැවුණු ඓතිහාසික කතාවකි. සතිස්චන්ද්ර එදිරිසිංහ අධ්යක්ෂණය කළ ‘හොට බරි යුද්දේ වේදිකා නාට්යයෙහි රචකයා ද ඔහු ය.
ළමා පරපුරේ සහ යෞවනයන්ගේ දැනුම වඩවාලීම සඳහා විදෙස් ප්රකාශන වලින් පෙරාගත් නව තොරතුරු ද ඔහු පුවත්පත් වලට ලියුවේය. රට රටවල සිරිත් විරිත් ද එබඳු දැනුම වඩවාලන ග්රන්ථයකි.
සුකිරි සහ යහළු තලංගම ප්රේමදාස නම් වූ පුවත්පත් කලාවේදියාගේ සංස්කරණයෙන් බිහි වූ ළමා පුවත්පත් ය. ඔහු, භාෂා පරිවර්තකයෙකු ලෙස ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවය කළේය. කලා ලොවට අමරණීය මෙහෙවරක් ඉටු කළ තලංගම ප්රේමදාස සූරීහු 1986 ඔක්තෝබර් 24 වැනිදා හිමිදිරි උදෑසනම සදහටම දෙනෙක් පියා ගත්හ. අපි එතුමන්ට නිවන් සුව පතමු!
සුජීව තේවහෙට්ටිගේ
2026 ඔක්තෝබර් 24, පෙ.ව. 12:11
2026 ඔක්තෝබර් 23, පෙ.ව. 12:16
2026 ඔක්තෝබර් 22, පෙ.ව. 12:10
2026 ඔක්තෝබර් 22, පෙ.ව. 12:07
2026 ඔක්තෝබර් 21, පෙ.ව. 12:07