hit counter

2024 දෙසැම්‍බර් මස 22 වන ඉරිදා

2022 අගෝස්‍තු 18, ප.ව. 5:24



මහ බැංකුවේ මුදල් මණ්ඩලය ගත් ප්‍රතිපත්ති සමග මේ වන විට යම් සාධනීය තත්ත්වයක් පෙනෙන්නට ඇති බවත් උද්ධමනය සියයට 70 ඉක්මවා නොයනු ඇති බවත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසුවා.

ආර්ථිකය සම්බන්ධයෙන් ගන්නා පියවර පිළිබඳව පැහැදිලි කිරිමට අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

පසුගිය කාලය තුළ පැවති දැඩි විදේශ විනිමය හිඟය ද යම් ආකාරයකින් සමනය වී ඇතැයි ඔහු පෙන්වා දුන්නා.

තව ද ආනයනය වියදම සැලකිය යුතු ලෙස පහළ ගොස් ඇති බවත් අපනයනය ආදායම සතුටු දායක තත්ත්වයක පවතින බවත් වීරසිංහ මහතා පැවසුවා.

එහිදී ඒ මහතා මෙසේ ද අදහස් දක්වා සිටියා,

“පහුගිය කාලයේදී අපි ගත්ත ප්‍රතිපත්ති එක්ක සාධනීය ප්‍රථිඵලයක් පේනවා. උද්ධමනය සියයට 70ට වඩා යන්න වගේ ඉඩකඩක් තිබුණ බව පෙනුනා. නමුත් විදුලි බල ගාස්තු වැඩිකිරිමට පස්සේ මේක යම් ප්‍රමාණයකින් අවසන් වෙලා ඉදිරියේදී උද්ධමනය අඩුවෙයි කියන බලාපොරොත්තුව තිබෙනවා. විදේශ විනිමය පැත්තෙන් ගත්තත් පසුගිය කාලයේ තිබුණ දැඩි විදේශ විනිමය හිඟය යම් කිසි තත්ත්වයකට සමනය වෙලා තියෙනවා. පෙට්‍රල්, ඩීසල්, ගෑස්,  ඖෂධ සඳහා විදේශ විනිමය ප්‍රතිපාදනය කර ගන්න හැකි වෙලා තිබෙනවා. ආනයන වියදම වැඩිවෙලා තිබෙනවා. අපනයන ආදායම වැඩිවෙලා තිබෙනවා. කෙටිකාලීන ණය පහසුකම් නොමැතිවත් අපිට දැන් පුළුවන් වෙලා තිබෙනවා රටේ මූලික අවශ්‍යතා ටික අපේ මුදල් වලින් කළමනාකරණය කර ගන්න.”

“බැංකුවල ණය ප්‍රසාරණය පහත ගිහින් උද්ධමනය පාලනය වෙලා තිබෙනවා. සැපයුම් අංශයේ කටයුතු සාමාන්‍ය වූ විට  මිල මට්ටමේ ස්ථාවර භාවය ඇති වේවි. විනිමය අනුපාත ස්ථාවර වෙමින් යනවා. තවමත් උද්ධමනය වැඩියි කියලා පිළිගන්න වෙනවා. තිබෙන පොලී අනුපාතිකය මෙ ආකාරයටම පවත්වාගෙන යනවා. පොලිය වැඩි කරන්නේ නෑ. තව ඉදිරියට යන කොට රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය, බදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වීමත් සමග තත්ත්වය සමනය කර ගන්න හැකිවේවි. අපි හොඳ පැත්තට යනවා කියලා ඇවිල්ලා තිබෙනවා. ඒක හොඳ දෙයක්. අපනයනය කරන අයගේ මුදල් අලුත් ක්‍රමවේදයක් යටතේ අපි නිරික්ෂණය කරනවා. එහි වර්ධනයක් තිබෙනවා. විවෘත ගිණුම් හරහා හවාලා උන්ඩියල් ක්‍රමයට මුදල් හුවමාරුව අඩුවෙලා තිබෙනවා. බැංකුවල ද්‍රවශීලතාව වැඩිවෙලා තිබෙනවා”