hit counter

2026 අගෝස්‍තු මස 31 වන සඳුදා

2022 සැප්‍තැම්‍බර් 06, ප.ව. 8:17



අධික වැසි මැද පාසල නිම වී නිවස බලා යන යමින් සිටියදී කාණුවක ඇද වැටීමෙන් කුරුණෑගල මලියදේව ආදර්ශ විද්‍යාලයේ 9 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි සජිත ගුණරත්න සිසුවාගේ දේහය අද එම නිවසට රැගෙන ආවා.

සජිත මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ දුන්නේ අනවසර ඉදිකිරීම් හා බලධාරීන්ගේ නොසැලකිලිමත් භාවය හේතුවෙන් මාර්ග පද්ධතියේ ඇති වී ඇති ගැටලු නිසා බවටයි ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ.

දැඩි වර්ෂාව මධ්‍යයේ නිවස වෙත පාගමනින් පැමිණි සිටි සජිත වෙනදාට සිය මිත්තණිය සමග නිවසට පැමිණියත් මෙම වැසි තත්ත්වය හේතුවෙන් මිත්තණියට සජිත කැදවාගෙන පැමිණීමට යාම ප්‍රමාද වී තිබුණා.

ඒ අනුව තනිවම නිවස බලා පැමිණෙමින් සිටියදී මාර්ගයේ පාසල් වෑන් රථයක් පැමිණීමත් සමගම පසෙකට වීමට උත්සාහ කිරීමේ දී කාණුවට ඇද වැටුණු සජිත මාර්ගයට යටින් වතුර බැස යන බෝක්කුවක සිරවී තිබුණා.

සැඩ පහරට හසු වී අතුරුදන් වූ සජිත සොයා ප්‍රදේශවාසීන් සහ ආරක්ෂක අංශ දියත් කළ මෙහෙයුම සාර්ථක වූවත් ගොඩට ගැනුන සජිත කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කලත් ඔහුගේ දිවි බේරා ගැනීමට හැකිව තිබුණේ නැහැ.

ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ අනවසර ඉදිකිරීම් සහ බලධාරීන්ගේ නොසැලකිලිමත්කමේ ප්‍රතිඵලයක් ලෙස දරුවා මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ දුන් බවයි.

”ලොකු වැස්සක් වැස්සම මේක තනිකරම වෙල් යායක් කියලා පේන්නේ නැහැ. වැවක් වගේ වතුර. දරුවට පාර හොයා ගන්න බැහැ. වාහනයක් ආවා දරුවා චුට්ටක් අයින් වෙනකොට තමයි මෙතනින් වැටුණේ. එක මනුස්සයයි දැක්කේ බෝක්කුව ඇතුළට ගියා කියලා. පස්සේ පල්ලෙහා බලනකොට බෑග් එකක් තිබ්බා. මේ ළමයා පැයයි විනාඩි 40ක් ඔට්ටු වෙලා මෙතනින් වහලා තමයි ළමයා ගත්තේ. මේකට හේතුව තමයි මේ පාරවල් අනාරක්ෂිතයි. වාහන දෙකක් මාරු වෙන්න බැහැ එතකොට ළමයි වෙලට වැටෙනවා. මේකට බලධාරීන්ගේ ඇස් ඇරෙන්න ඕනේ.”

“මේ පාරට සුදුසු බෝක්කුවක් නෙවෙයි මේ දාලා තියෙන්නේ. මේක ටිකක් ලොකුවට දැම්මා නම් මේ ප්‍රශ්නේ වෙන්නේ නැහැ. ඒ ළමයාගේ ජීවිතේ විනාශ වෙන්නේ නැහැ. වතුර මේකේ සම්පූර්ණයෙන් පිරෙනවා. පිරුණට පස්සේ පාර උඩින් තමයි යන්නේ. ඒ උඩින් යන වෙලාවේ තමයි මේ ළමයි එහා මෙහා යන්නේ. ඊයේ ඒ ළමයා වැටුණේ ඒ පාර හොයා ගන්න බැරුව. බෝක්කුව හොයා ගන්න බැරුව. මේවා බලධාරින් බලලා ලොකුවට බටයක් දාලා දුන්නා නම් මේ ප්‍රශ්නේ කවදාවත් නැගී හිටින්නේ නැහැ.”