hit counter

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා

2023 ජනවාරි 08, ප.ව. 2:25



හිටපු ජනාධිපති ගෝඨාභය මහතාගේ නිවසට ගමන් ගන්නා ජොස්වෙල් හන්දිය රාජකාරි යොදවා සිටි පොලිස් කොස්තාපල්වරයකු පොලිස් සැරයන්වරයකුට ටි 56 ගිනි අවියකින් වෙඩි තැබීමට කළ උත්සාහයක් පොලිස් පරීක්ෂකවරයෙකුගේ ක්ෂණික මැදිහත්වීම මත නූලෙන් වැළකී ගොස් ඇතැයි මිරිහාන මූලස්ථාන පොලීසිය පවසනවා.

සැකකාර කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු මිරිහාන මූලස්ථාන පොලිසියට අනුයුක්තව සේවය කරන්නෙක්.

පොලිස් පරීක්ෂකවරයෙකු, සැරයන්වරයකු හා සැකකාර කොස්තාපල්වරයා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවසට ගමන් ගන්නා එක් මාර්ගයක් වන පරණ කොට්ටාව පාර ජොස්වෙල් හන්දිය රාත්‍රී ආරක්ෂක රාජකාරියේ යෙදී සිටියදී  කොස්තාපල්වරයා රාජකාරි නොකර නින්දට ගොස් තිබූ බව පොලිසිය සඳහන් කළා.

එලෙස නොකරන ලෙස සැරයන්වරයා කීප වතාවක්ම අවවාද කිරීමෙන් අනතුරුව ඊට උරණ වූ කොස්තාපල්වරයා අත දරා සිටි ටී-56 ගිනි අවිය සැරයන්වරයා දෙසට හරවා එහි කොකා ගැස්සීමට උත්සාහ දැරීමත් සමගම එම ස්ථානයේ සිටි පොලිස් පරීක්ෂකවරයා මහ හයියෙන් කෑ ගසා කොස්තාපල්වරයා වෙත කඩා පැන ගිනි අවිය උදුරා ගෙන තිබූ බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරනවා.

අනතුරුව සැරයන්වරයා පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව සැකකාර කොස්තාපල්වරයා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකාර කොස්තාපල්වරයා මීට වසර හතරකට ඉහතදී පොලිස් දෙපාර්තමේන්තුවේ සේවයට බැඳී ඇති පුද්ගලයෙක් බවත් වයස අවුරුදු 25 ක්වන ඔහු පොල්පිතිගම පදිංචිකරුවෙක්.

සැකකාර කොස්තාපල්වරයා නුගේගොඩ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

මිරිහාන මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක  මංජුල තුෂාර මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පවත්වනවා.