hit counter

2024 මැයි මස 19 වන ඉරිදා

2023 ජනවාරි 15, ප.ව. 2:40



සීගිරි පව්ව මත සිට දිනපතා ඉර පායන හා ඉර බැස යන දසුන් දෙස් විදෙස් සංචාරකයන්ට නැරඹීමට ඊයේ (14) අලුයම සිට අවසර හිමි වුණා.

ඒ අනුව, ඉදිරියේදී සීගිරිය නැරඹීම සඳහා අලුයම 5.30 සිට රාත්‍රී 9.00 පමණ වන තුරු අවසර ලබා දෙන බව ඉර සේවය නැරඹීමේ ආරම්භක අවස්ථාවට එක්වෙමින් බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවසුවා.

පුරාවිද්‍යා ස්ථාන හරහා දේශීය විදේශීය සංචාරකයන් ඉලක්ක කර නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරගෙන යන අතරතුර සීගිරිය නැරඹීම සහ සීගිරි පව්ව මත සිට ඉර පායන දසුන් නැරඹීමට ඕනෑම දෙස් විදෙස් සංචාරකයෙකුට අවසර තිබෙන බව ත් තමන් ද එම අත්දැකීම පළමු වරට විඳගත් බවත් වික්‍රමනායක මහතා මෙහිදී සඳහන් කළා.

මෙම අවස්ථාවට එක්ව සිටි මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් පුරාවිද්‍යාඥ මහාචාර්ය ගාමිණී රණසිංහ ප්‍රකාශ කළේ, ඉදිරි දින කිහිපය තුළ සීගිරිය පමණක් නොව සීගිරිය ඇතුළත ඇති තවත් ස්ථාන කිහිපයක් සංචාරකයන්ට දැකබලා ගැනීම සඳහා අවශ්‍ය සියලු පහසුකම් සපයා දෙන බවයි.

මෙහිදී බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ අතිරේක ලේකම් නිශාන්ති ජයසිංහ ප්‍රකාශ කළේ, සීගිරිය පමණක් නොව සංචාරක ආකර්ෂණය ඇති බොහෝ පුරාවිද්‍යා ස්ථාන නැරඹුම් මධ්‍යස්ථාන බවට පත් කොට රටේ ආර්ථිකයට ශක්තියක් ලබා දීම සඳහා මේ වන විටත් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර තිබෙන බවයි.

තව ද ඉදිරියේදී සීගිරිය නැරඹීම සඳහා පැමිණෙන සංචාරකයන්ගේ පහසුව සඳහා විදුලියෙන් ක්‍රියාත්මක මෝටර් රථ සේවාවක් ආරම්භ කිරීමට මධ්‍යම සංස්කෘතික අරමුදල ක්‍රියා කරන බව ඇය සඳහන් කළා.

අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා වැඩිදුරට ත් කියා සිටියේ, ඉදිරියේදී දිවයිනේ සෑම කෞතුකාගාරයක ම ආරම්භක වේලාව සහ වසා දමන වේලාවන් වෙනස් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවයි.