hit counter

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා

2023 ජනවාරි 31, ප.ව. 1:23



තමන් මේ වනවිට ෆාමසියක් පවත්වාගෙන යන අතර පසුගිය 17 වන දින සවස 2ට පමණ බිරිය පැමිණ කුරුදුවත්ත පොලිසිය කතා කර දුවට කරදරයක් පොලිසියට එන ලෙස දැනුම්දුන් බවට පැවැසීම හේතුවෙන් පොලිසියට ගිය බවත් එහිදී පොලිසිය සමඟ තුරඟ තරග පිටියට ගිය බවත් එහිදී තම දියණිය ලකුණු පුවරුව අසල වැටී සිටිනු දුටු බවත් ඝාතනයට ලක් වූ විශ්වවිද්‍යාල ශිෂ්‍යාවගේ පියා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් හමුවේ ඊයේ (30) පශ්චාත් මරණ පරීක්ෂණ සාක්ෂි ලබාදෙමින් පැවැසුවා.

විශ්‍රාමික යුද හමුදා නිලධාරිවරයකු වන මල්ලිකාරච්චිගේ රංජිත් ප්‍රේමකුමාර සිය දියණියගේ මරණය සම්බන්ධයෙන් අධිකරණය හමුවේ සාක්ෂි ලබාදුන්නා.

“මා 1997 වසරේදී විවාහ වුණා. අපට දියණියන් දෙදෙනෙක් ඉන්නවා. මියගිය චතුරි හංසිකා කියන්නේ මගේ ලොකු දුව. ඇයගේ වයස අවුරුදු විසි හතරක්. ඇය මූලික අධ්‍යාපනය හැදෑරුවේ මහරගම විද්‍යාකර බාලිකා විද්‍යාලයේ. උසස් පෙළ සඳහා නුගේගොඩ අනුලා විද්‍යාලයේ ඉගෙනුම ලැබුවා. ඉන් අනතුරුව ඇය උසස් පෙළ සමත් වෙලා ගණිත අංශයෙන් කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණා. 2019 වසරේ තමයි විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණේ.

එම කාලයේදී ඇයගේ කිසිම සම්බන්ධකමක් ගැන අප දැනුවත්ව සිටියේ නැහැ. විශ්වවිද්‍යාලයට දියණිය ආවේ නිවෙසේ ඉඳලා. එදා ජනවාරි 17 වැනිදා උදේ ගෙදරින් ඇයව මම හෝමාගම බස් නැවතුම්පොළට ගෙනැල්ලා ඇරලුවා. එදා තමයි මං ඇයව දුටු අන්තිම දවස. මගේ දුව නිල්පාට ඩෙනිම් කලිසමක් හා කහපාට හැට්ටයක් තමයි එදා ඇඳගෙන හිටියෙ.

මම මේ වෙනකොට ෆාමසියක් කරනවා. හවස දෙකට විතර බිරිය ඇවිත් කිව්වා පොලිසිය කතා කරා අපිට කුරුදුවත්ත පොලිසියට එන්න කියලා. දුවට කරදරයක් කියලා තමයි කිව්වේ. අපි කුරුදුවත්ත පොලිසියට ගියා. පොලිසියෙන් අපිව තුරඟ තරග පිටියට රැගෙන ගියා. එහි ලකුණු පුවරුව ළඟ මගේ දූ වැටිලා ඉන්නවා මම දැක්කා. එතකොට හවස තුනට විතර ඇති. එතැන මියගොස් සිටියේ මගේ දියණිය බව මම හදුනාගත්තා එම අවස්ථාවේදී.

යම්කිසි කෙනකුගේ පිහි ඇනුමකින් තමයි මගේ දුව නැතිවෙලා තියෙන්නේ කියලා එම අවස්ථාවේදී අපට දැනගන්නට ලැබුණා. නමුත් අපි එම පුද්ගලයා හදුනන්නේ නැහැ. එම පුද්ගලයා පිළිබඳව දුව අපට කියලා තිබුණෙත් නැහැ. මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය කරන තැනට පසුවදා ගියා. එම ස්ථානයේදී වෛද්‍යවරයා ඉදිරියේදී දුවගේ සිරුර මා විසින් හදුනා ගනු ලැබුවා.”

මෙම අවස්ථාවේදී මියගිය සිසුවියගේ පියා සංවේදී ලෙස අධිකරණය හමුවේ සිය සාක්ෂි ලබා දුන්නේය. අනතුරුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් එම අවස්ථාවේදී එහි සිටි මුරකරුගෙන්ද සාක්ෂි ලබාගැනීමට අවශ්‍ය බැවින් ඔහුව ඉදිරි දින කැඳවන ලෙසට මහෙස්ත්‍රාත්වරයා කුරුදුවත්ත පොලිසිය වෙත නියෝග කළා.

ඒ අනුව මහෙස්ත්‍රාත්වරයා පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව සඳහා සාක්ෂි ලබාදීමට තුරඟ තරග පිටියේ එම අවස්ථාවේ සේවය කළ මුරකරු වෙත සිතාසි නිකුත් කළා.

අනතුරුව ජාතික මානසික වෛද්‍ය ආයතනයේ විශේෂඥ වෛද්‍යවරයකු වෙත සැකකරු යොමු කර වෛද්‍ය වාර්තාවක් කැඳවන ලෙසට පොලිසියට නියම කළ මහෙස්ත්‍රාත්වරයා සැකකරු ඉදිරි දින අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග නිකුත් කළ බව වාර්තා වෙනවා.

මෙම නඩුව අධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී සැකකරු අධිකරණයට ඉදිරිපත් කර නොතිබූ අතර ඔහු දැනට බන්ධනාගාර මානසික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව බන්ධනාගාරය විසින් අධිකරණයට දන්වා තිබුණා.

නඩුව නැවත ලබන 13 වැනි දින කැඳවීමට මහෙස්ත්‍රාත්වරයා නියම කළා.