hit counter

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා

2023 පෙබරවාරි 09, ප.ව. 4:33



ඝාතනයට ලක්ව ඇත්තේ තලංගම පැලවත්ත ශේඩ්ස් (shades)  නිමි ඇදුම් සාප්පු ජාලයේ හිමිකරු කෝටිපති ව්‍යාපාරික රොෂාන් වන්නිනායක මහතා දැයි නිශ්චිතව දැන ගැනීම සඳහා ඔහුගේ මවගේ රුධිර සාම්පල සමග සසඳා සිදු කළ විද්‍යාත්මක පරීක්ෂාවේදී එම ව්‍යාපාරිකයාම බවට තහවුරු වූ බව කොළඹ අපරාධ කොට්ඨාසය සඳහන් කරනවා.

වැල්ලම්පිටිය කිත්තම්පහුව පදිංචිව සිටින ඔහුගේ මව ජින්ටෙක් ආයතනය වෙත යොමු කර ලබා ගත් රුධිර සාම්පල සහ  ව්‍යාපාරිකයාගේ රුධිර සාම්පල් සමග සසදා ඒ බව අනාවරණය කරගත් බව පොලිසිය පැවසුවා.

ඉකුත් මස 30 වෙනි දින සිට අතුරුදන්ව සිටි ව්‍යාපාරිකයාගේ මළ සිරුර මෙම මස දෙවැනි දින පැලවත්ත එම්.ඩි.එච් පුර ඉඳිකරමින් පවතින ඔහුට අයත් සුඛෝපභෝගී තෙමහල් නිවසේ ඉහළ මහලේ කොනකට වන්නට පිහිටා තිබෙන නාන තටාකයේ පාවෙමින් තිබියදී පොලිසියට හමු වුණා.

සැකකරු ඇප් එකක් හරහා මාසයකට පෙර සිට දැන හඳුනාගෙන තිබූ ව්‍යාපාරිකයා හමු වූ මුල් දවසේම දෙනා අතර සමීප ඇසුරක් පැවති බව සැකකරු සිදු කළ පාපොච්චාරණකින් අනාවරණය වූ බව පොලිසිය සඳහන් කර සිටියා.

සැකකාර අසිමිඩින් ඉන්සාෆ්ඩින් නමැත්තා සමඟ සමීප ඇසුරක් පවත්වා තිබූ කෝටිපති ව්‍යාපාරිකයාව පොලු මුගුරුකින් පහරදී ඝාතනය කර සැකකරු ඔහුගේ සිරුර නාන තටාකයට ඇද දමා පලාගොස් තිබුණා.

ඝාතනය කිරීමට හේතු වශයෙන් සැකකරු සඳහන් කර ඇත්තේ තමන් ඒ වෙනුවෙන් ව්‍යාපාරිකයාගේ රුපියල් ලක්ෂයක මුදලක් ඉල්ලූ බවත් එය නොදීම හේතුවෙන් තමන් පහර දුන් බවත් ය.

ඝාතනය සඳහා යොදාගත් පොලු මුගුර හා නිවස තුළ තිබී සොයාගත් පාවිච්චි කරනලද උපත් පාලන කොපුව විද්‍යාත්මක සාක්ෂි සොයා ගැනීම සඳහා රජයේ රස පරීක්ෂක වෙත යොමු කිරීමට නියමිතයි.

සැකකාර යුවල කඩුවෙල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම මස 15 වැනි දින දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස මහේස්ත්‍රාත් චානිමා විජයබණ්ඩාර මහත්මිය නියෝග කළා.

ජින්ටෙක් ආයතනය මගින් ලබාදුන් එම වාර්තාව කඩුවෙල අධිකරණ වෙත ඉදිරිපත් කර අධිකරණයෙන් ලබා දෙන නියෝග මත ව්‍යාපාරිකයාගේ මළ සිරුර ඥාතීන්ට භාර දීමට කටයුතු කරන බව  කොළඹ අපරාධ කොට්ඨාසයේ උසස් නිලධාරියෙක් පැවැසුවා.

කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී නෙවිල් ද සිල්වා, ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇන්සලම් ද සිල්වා ඔවුන්ගේ උපදෙස් මත පොලිස් පරීක්ෂක පරීක්ෂක ජගත් නිශාන්ත මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි.