hit counter

2024 ඔක්‍තෝබර් මස 18 වන සිකුරාදා

2023 පෙබරවාරි 17, පෙ.ව. 6:12



රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ න්‍යාය පත්‍රයේ පවතින්නේ පළාත් පාලන හෝ මහමැතිවරණ පැවැත්වීම නොව ඉදිරියේදී ජනාධිපතිවරණයක් පැවැත්වීම බව ජාතික ජන බලවේගය නියෝජනය කරන ජනතා විමුක්ති පෙරමුණ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත මහතා පැවසුවා.

දඹුල්ල මහ නගර සභාව සඳහා එම පක්ෂයෙන් තරඟ වදින අපේක්ෂකයයන්ගේ ජය තහවුරු කිරීම සඳහා දඹුල්ල කණ්ඩලම පාර ප්‍රදේශයේ පැවති ජන හමුවකදී ලාල්කාන්ත මහතා මේ බව සඳහන් කළා.

එළැඹෙන නොවැම්බර් මස 19 වන දිනෙන් පසුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අවශ්‍ය නම් ඔහු තරඟ වදින්නේ නම් ජනාධිපතිවරණය පැවැත්වීමට නීතියෙන් බාධාවක් නොවන බව හෙතෙම පෙන්වා දුන්නා.

මේ දිනවල ජනාධිපතිවරණයට අවශ්‍ය පරිදි ආර්ථිකය දේශපාලනයය සියල්ල ක්‍රියාත්මක කරමින් යන බවට ඕනෑ තරම් ඒ  ඉඟි පළ වෙන බවද කේඩී ලාල්කාන්ත මහතා පෙන්වා දුන්නා.

පසුගිය දිනවල 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව කතිකාවතක් ඇති කරගෙන ගියේ රනිල් වික්‍රමසිංහ මහතාට අවශ්‍ය උතුරේ ඡන්ද ලබා ගෙන ජනාධිපති සිහිනය සැබෑ කර ගැනීමේ අවශ්‍යතාවය ද බවද පෙන්වා දුන් කේ.ඩී.ලාල්කාන්ත මහතා වැඩිදුරටත් කියා සිටියේ මේ වන විට බුද්ධි අංශ වාර්තා අටක් ලබා දී ඇත්තේ බහුතර ජනමතය මාලිමාවට හිමි වී ඇති බවත් එම නිසා මේ තත්ත්වය උදා වී තිබෙන බවයි. 

එමෙන්ම වසර 75 ක් පමණ ඉතිහාසයක සිට මේ රටේ දේශපාලනය විනාශ වීමට හේතුව තමන් ගැන පමණක් සිතන  ක්‍රියාවලියක් සිදුවීම බවත් ඉදිරියේදී එවැනි තත්ත්වයක් ඇති නොවීමට පක්ෂ මාරු කරන විවිධ ක්‍රම ඔස්සේ ජනතාවට හානි කරන දේශපාලනය අයිති වන්නේ සජිත් ප්‍රේමදාස, රනිල් වික්‍රමසිංහ දේශපාලනයට සහ පොහොට්ටුවේ දේශපාලනයට බවත් ජනතාව ඉල්ලූ නිසි වැඩපිළිවෙළ ජාතික ජන බලවේගයෙන් ක්‍රියාත්මක කළ යුතු බවත් එසේ නොවන්නේ නම් ජනතාව ගෝඨාභය රාජපක්ෂ පන්නා දැමුවාටත් වඩා වේගයෙන් ජාතික ජන බලවේගය ද පන්නා දමන බව සඳහන් කළා.

2022 වසරේ ජනතාව තම බලය පාවිච්චි කරමින් සිදු කළ මහා හැරවුම් පිළිබඳවද පෙන්වා දුන් ලාල්කාන්ත මහතා   වැඩිදුරටත් කියාසිටියේ ජනතාව ඉල්ලූ වෙනස ලබා දීම  සියලු දෙනාගේම වගකීමක් බවයි.

මෙරට පෙරදිග ලෝකයේ මුතු ඇටය නමින් හැඳින් වුවද දැන් ඒ සඳහා වෙනත් නමක් වෙනත් ඇටයක නමක් දමා ගත යුතු බව ද පැවසූ හෙතෙම කියා සිටියේ ඒ සඳහා රටට දැමිය යුත්තේ රනිල් රාජපක්ෂ දෙමුහුන් ඇටය බව ද පෙන්වා දුන්නා.

රට මේ තරම් බංකොලොත් භාවයට පත් කොට තිබියදීත් මෙම බංකොලොත් කරපු කණ්ඩායම් නියෝජනය කරමින්    මැතිවරණ සඳහා ඉදිරිපත්වී ඇති පුද්ගලයන් හට බ්‍රහ්ම දණ්ඩනය පැනවිය යුතු බවද ඔවුන් පරයන් සේ  සලකා පන්නා දමා   ඔවුන්ගේ බිරින්දෑවරුන් දික්කසාද කරවීම පවා සිදු කළ යුතු බව හෙතෙම සඳහන් කර සිටියා.

Example Image