hit counter

2025 මැයි මස 14 වන බදාදා

2023 මාර්තු 11, ප.ව. 1:53



මෙවර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැයි දින රැලිය දැවැන්ත ජන සහභාගිත්වයකින් සහ සංවිධාන ශක්තියකින් පැවැත්විය යුතු බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පොදුජන පෙරමුණු දිස්ත්‍රික් නායකයන්ට දැනුම් දී තිබෙනවා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සහ පොදුජන පෙරමුණ දිස්ත්‍රික් නායකයන් අතර පසුගියදා විශේෂ සාකච්ඡාවක් විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවෙසේදී පවත්වා ඇති අතර, එහිදී මෙම දැනුම්දීම හිටපු ජනාධිපතිවරයා සිදුකර තිබෙනවා.

එළැඹෙන අප්‍රේල් මාසයේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන ඡන්ද විමසීම පිළිබඳවද මෙම සාකච්ඡාවේදී දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කර තිබෙනවා.

එම පළාත් පාලන  මැතිවරණයට අදාළව ගම් මට්ටමින් තම පාක්ෂිකයන් හා ජනතාව දැනුවත් කිරීම තවදුරටත් තීව්‍ර කරන ලෙසද ගම් මට්ටමේ සංවිධාන කටයුතු අදාළ ගම් නියෝජනය කරන හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරුන් තවදුරටත් උනන්දුව සිදු කළ යුතු බව මෙහිදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ මතය වී තිබෙනවා.

ගෙන් ගෙට ගොස් ජනතාව දැනුවත් කිරීම පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතු බවද රජයෙන් සිදුවූ අඩුපාඩුකම් පිළිබඳ සත්‍යතාව ජනතාවට පැහැදිලි කිරීම කඩිනම්ව සිදු කළ යුතු බවද මහින්ද රාජපක්‍ෂ මහතාගේ මතය වී තිබෙනවා.

එළැඹෙන මැයි දිනය නිමිත්තෙන් සිදු කෙරෙන සංවිධාන කටයුතුවල තත්ත්වය කෙසේද යන්න පිළිබඳවද මෙහිදී මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයා පොදුජන පෙරමුණු දිස්ත්‍රික් නායකයන්ගෙන් විමසා ඇති  අතර, දැවැන්ත මැයි රැලියක් පොදුජන පෙරමුණු පක්‍ෂයෙන් පැවැත්විය යුතු බව පොදුජන පෙරමුණු නායකයන් මෙහිදී පවසා තිබේ. එසේ නම් ඒ පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන ලෙසද හිටපු ජනාධිපතිවරයා පවසා තිබෙනවා.

මැයි රැලිය පැවැත්වීමට සුදුසු ස්ථානයක් පිළිබඳවද අවධානය යොමුකර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඇති ජනතා බලය පිළිබඳව රටටම පෙන්වන ආකාරයේ මැයි දින රැලියක් පැවැත්වීම පිළිබඳව අවධානය යොමුකරන ලෙසද හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මෙම සාකච්ඡාවේදී පවසා ඇති බව වාර්තා වෙනවා.