hit counter

2025 මැයි මස 14 වන බදාදා

2023 අප්‍රේල් 13, පෙ.ව. 4:24



සමගි ජන බලවේගයේ ප්‍රබලයෝ පස් දෙනකු ඇතුළු විසිහය දෙනකු ඉතා ඉක්මනින් ආණ්ඩු පක්ෂය හා එක්වන බව මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි, මහනුවර සංවර්ධන කමිටු සභාපති ගුණතිලක රාජපක්ෂ මහතා පවසනවා. 

මහනුවර පැවැති මාධ්‍ය හමුවකදී හෙතෙම කියා සිටියේ මේ වන විට ඒ සම්බන්ධයෙන් සාකච්ඡා වට කිහිපයක් පවත්වා එකඟතාවකට පැමිණ ඇති බවයි.                                                                     

මෙහිදී තවදුරටත් අදහස් පළ කළ මන්ත්‍රිවරයා මෙසේද සඳහන් කළා.

“සමගි ජන බලවේගයේ නායකයා ඇතුළු ලොක්කෝ දැන් හැමතැනම කියනවා අපේ කවුරුත් රජයට යන්නේ නෑ කියලා. ඒත් ඒ අය හොඳටම දන්නවා මේ යන අය නවත්වන්න බැහැ කියලා. එදා ජනාධිපතිතුමා පත් කරන්න පාර්ලිමේන්තුවේ ඡන්දය පැවැති අවස්ථාවේ විපක්ෂය කීවේ අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහත්තයා අන්ත පරාජයකට ලක් වෙනවා කියලයි. ඒත් එතුමා විශිෂ්ට ජයක් ලැබුවා. ඒ ජයග්‍රහණයට සමගි ජන බලවේගයේ මන්ත්‍රිවරු කිහිපදෙනෙක්ම එදා සහයෝගය දුන්නා. ඒ අය ඇතුළු 26 දෙනකු හෙට අනිද්දටම ආණ්ඩුවට එක් වෙනවා. අපි දැන්ම නම් හෙළි කරන එක සදාචාරවත් නැහැනේ. ආපුවම බලාගන්න පුළුවන් ඒ අය කවුද කියලා.                                                                                                         

වත්මන් ජනාධිපතිතුමා රට භාරගෙන වසරක් වැනි කාලයක් තුළ යම් මට්ටමක ස්ථාවරයකට රට පත් කරලා තියෙනවා. ජනතාවගේ ආර්ථික ප්‍රශ්න බොහෝ දුරට අඩු කරල තියෙනවා. පෝලිම් ක්‍රමය නැති කරලා තියෙනවා. දැන් මේ ආණ්ඩුව ඉතාමත් ස්ථාවරයි. ඒ ස්ථාවරභාවය තව තවත් තහවුරු කරන්න තමයි මේ විපක්ෂයේ අය ආණ්ඩුව ශක්තිමත් කරන්න මේ පැත්තට එන්නේ. හිතාගන්නවත් බැරි අය තමයි ආණ්ඩුවසමඟ මේ පැත්තට එන්න සාකච්ඡා කරලා තියෙන්නේ.                                    

අපේ රජය නියෝජනය කරපු 14 දෙනකු හෙලිකොප්ටරයක් හදාගෙන ඒකට නැඟලා ටික දුරක් යන්න ඉස්සරවෙලාම 05 දෙනෙක් හෙලිකොප්ටරෙන් පැන්නා. හෙට අනිද්දට තවත් දෙන්නෙක් පනිනවා. නියමුවෙක් නැති හෙලිකොප්ටරය දැන් අයාලේ යනවා. කඩා වැටෙන්න ළඟයි. ඊට ඉස්සර වෙලා නැවතත් ආණ්ඩුව එන්න කියලා අපි මේ අයට කියනවා.  මෛත්‍රිපාල මහත්තයා නම් වේලපහින්ම ඒකෙන් බැස්සේ.                                                            

දැන් මේ විපක්ෂයේ අය ප්‍රතිත්‍රස්ත පනතක් අල්ලගෙන බොරුවට කෑ ගහනවා. මේ අය මොකටද කෑගහන්නේ, උද්ඝෝෂණය කරන්නේ. මේකට විරුද්ධ නම් සංශෝධන එකතු කරන්න ඕනේ නම් ඒකට උසාවි යන්න කාලයක් දීලා තියෙනවා. ඉතින් උසාවි ගිහිල්ලා විරෝධය පෑවා නම් ඉවරයි. කොහොමත් මේ පනත පාර්ලිමේන්තුවේ සම්මත වෙනවා. අපේ 132යි. දැන් එන අයත් එක්ක 152කටත් වඩා ඡන්ද තියෙනවා.                                                                                                  

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ලංකාවට ලැබෙන්නේ නෑ කියලා කෑගහපු අය ඒ සල්ලි ලැබුණට පස්සේ කියනවා ලංකාව තවත් ණය උගුලක හිර කරා කියලා. එහෙම නැතිව මේ අර්බුදයෙන් ගොඩ එන්න ක්‍රමයක් තියෙනවා නම් ඒක පෙන්නලා දෙන්න කියලා ජනාධිපතිතුමා කිව්වා. කවුරුත් කට ඇරියේ නෑ. දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දෙවැනි වටයේ ණය අපේ රටට ලබා දීම සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කරලා තියෙන්නේ. ඒ සාකච්ඡාවලට සහභාගි වීම සඳහා මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා මේ වනවිටත් වොෂිංටන් ගිහිල්ලා.”

මහනුවර – කමල් සුරවීර