hit counter

2025 මැයි මස 14 වන බදාදා

2023 අප්‍රේල් 20, පෙ.ව. 9:55



පාර්ලිමේන්තුවෙන් වැටුප් ලබාගෙන ඇමැති ධුර හොබවා විශ්‍රාම වැටුප් ද ලබාගන්නා  ජනතා විමුක්ති පෙරමුණ රට තුළ නැවත අර්බුදයක් නිර්මාණය කිරීමේ උත්සාහයක යෙදී සිටින බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ඊයේ (19) පැවැසුවා.

මහින්ද රාජපක්ෂ මහතාට ඡන්දය දෙන්නැයි කියමින් පෝස්ටර් ගැසූ ජවිපෙ නායකයන් මේ වනවිට රට රටවලට ගොස් විවිධ කතා පවත්වමින් වෛරය හා කේ‍රා්ධය වපුරමින් සිටින බවද ඇමැතිවරයා සඳහන් කළා.

වාමාංශික ව්‍යාපාරය කඩාගෙන වැටීම නිසාත්, රට නිවැරැදි මාර්ගයට අවතීර්ණ වීම නිසාත් කලබලයට පත් වී කඩප්පුලි වැඩ කරමින් සිටින මෙම පුද්ගලයන් නිදහසින් පසු ගෙවුනු අවුරුදු 74න් බාගයක කාලයක් පාර්ලිමේන්තුව නියෝජනය කරන බවද හෙතෙම ප්‍රකාශ කළේය. කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව පැවැසුවා.

වත්මන් ආණ්ඩුව දුප්පතුන්ට සහන සැලසීමට ගෙන ඇති තීන්දු තීරණ හේතුවෙන් මොවුන්ගේ දේශපාලන අනාගතය අවසන් වෙමින් තිබෙන බවත් ඔවුන්ට මේ හේතුවෙන් කැලෑ වැදීමට සිදුව තිබෙන බවත් ඇමැතිවරයා සඳහන් කළා.

මේ රටේ ශ්‍රමයට ගැළපෙන වැටුපක් ගතහැකි සමාජ ආරක්ෂණ ක්‍රමවේදයක් සකස් කිරීමට උත්සාහ කළ සෑම අවස්ථාවකදීම ජනතා විමුක්ති පෙරමුණ ඒවා කඩාකප්පල් කළ බවද හෙතෙම කියා සිටියා.

වැඩ කරන මිනිස්සුන්ට මිස බොරු කියමින් අසත්‍ය පතුරමින් සිටින මෙම පුද්ගලයන්ට මේ වන විට රටතුළ ඉඩක් නැතිවෙමින් යන බව පැවැසූ නානායක්කාර මහතා ජනතාව රවටන පටු දේශපාලනය තවදුරටත් ඉදිරියට ගෙන යෑමට නොහැකිවීම මත ජවිපෙ නායකයන් කලබල වී තිබෙන බවද ප්‍රකාශ කළා.