hit counter

2024 දෙසැම්‍බර් මස 23 වන සඳුදා

2023 මැයි 03, පෙ.ව. 3:37



යළිත් උතුරු නැඟෙනහිර පළාත්වල ගැටුමක් නිර්මාණය වීමේ අවදානමක් පවතින බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ. සුමන්තිරන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයන් හමුවේ පෙන්වා දී තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලයේ සංහිඳියා හා සංවර්ධන උපදේශක එඩ්වඩ් රිස් හා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ විශේෂ නියෝජිත සනා රසල්ලා යන නියෝජිතවරුන් හා සුමන්තිරන් මන්ත්‍රිවරයා අතර පසුගියදා යාපනයේදී පැවැති විශේෂ හමුවකදී මන්ත්‍රිවරයා මේ බව පෙන්වා දී තිබෙනවා.

තවමත් උතුරු නැඟෙනහිර පළාත්වල සිදුවන ඉඩම් ආක්‍රමණය කිරීම හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සිය බලතල ඉක්මවමින් කටයුතු කිරීමේ සිදුවීම් හේතුවෙන් මෙම අවදානම ඇතිවිය හැකි බවද හෙතෙම සඳහන් කර තිබෙනවා.

එබැවින් මෙම තත්ත්වය වහා නතර කරන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකා ආණ්ඩුව වෙත බලපෑම් කළ යුතු බවද සුමන්තිරන් මහතා එම නියෝජිතවරුන්ගෙන් ඉල්ලා ඇති බව වාර්තා වෙනවා.

මෙහිදී ශ්‍රී ලංකාවේ සාමය හා සංහිඳියාව ස්ථාපිත කිරීම වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මෙරට ක්‍රියාත්මක කරනු ලබන ගැටුම් නිරාකරණය පිළිබඳ වැඩසටහන පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබෙනවා.

තවද පසුගිය වසරේ දීපව්‍යාප්තව සිදුවූ මහජන අරගලයේ මූලික ඉල්ලීම් තවමත් ඉටු නොවිී තිබීම ගැටුම් නිර්මාණය වීමට තවත් එක් හේතුවක් වී ඇති බවද සුමන්තිරන් මහතා පෙන්වා දී තිබෙනවා.

එබැවින් ජනතාව විසින් අපේක්ෂා කළ සැබෑ වෙනස ඇතිකරලීමට නම් ඒ සඳහා ආණ්ඩුවට බලපෑම් කළ යුතු යැයි සුමන්තිරන් මන්ත්‍රිවරයා එක්සත් ජාතීන්ගේ නියෝජීතයන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.