hit counter

2024 දෙසැම්‍බර් මස 23 වන සඳුදා

2023 මැයි 03, ප.ව. 3:28



වසර සිය ගණනක් පුරා කිසිදු ප්‍රයෝජනයකට නොගත් දුම්රිය දෙපාර්තමේන්තුව හා මහා මාර්ග අමාත්‍යාංශය සතු ඉඩම් වර්ග අඩියක් රුපියල් 5ක් වැනි මුදලකට ලබාදීමට කටයුතු යොදා ඇතැයි ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

අධිකරණ හා බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය නීතිඥ අනුරාධ ජයරත්න මහතා විසින් ක්‍රියාත්මක ගම්පොළ නගර සංවර්ධන කටයුතු යටතේ ගම්පොළ දුම්රිය ස්ථානයේ ඉදිකරන ලද අධීක්ෂණ කළමනාකාර කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් හෙතෙම මේ අදහස් පළ කළා.

අමාත්‍යවරයා තවදුරටත් අදහස් දක්වමින් මෙසේද සඳහන් කළා.

“මේ අර්බුදයෙන් රට ගොඩ ගෙන දියුණු කිරීමට නම් පවතින හා පැවැති ක්‍රමවේද වෙනස් කළ යුතු වෙනවා. අපේ ක්‍රමය තමයි බල්ල පිදුරු කන්නෙත් නෑ කන ගොනාට දෙන්නෙත් නැති තියරිය. මම මේක වෙනස් කරලා කන ගොනාට දීමේ තීන්දුවට පැමිණ ඒ සඳහා සැලසුම් සකස් කරලා තියෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුව තමයි වැඩිම ඉඩම් සතු දෙපාර්තමේන්තුව. මේ දෙපාර්තමේන්තුවේ ඉඩම් අක්කර දාහතර දහසක් තියෙනවා. මේවා උෟන උපයෝගිතා ඉඩම්. කිසි ප්‍රයෝජනයක් ගන්නේ නෑ. දෙපාර්තමේන්තුව පාවිච්චි කරන්නෙත් නෑ. පාවිච්චි කරන වෙන කෙනකුට දෙන්නෙත් නෑ.

මේ නිසා මෙම ක්‍රමය වෙනස් කිරීමේ තීරණය අනුව අපි අලුතෙන් සකස් කර තිබෙනවා දුම්රිය වත්කම් කළමනාකරණය කිරීමේ ඒකකයක්. මේ ඒකකය මඟින් තීන්දු කර තිබෙනවා පෞද්ගලික ව්‍යාපාරයකට හෝ සමාගමකට පළාත් පාලන ආයතනවලට රාජ්‍ය ආයතන හෝ ව්‍යවස්ථාපිත මණ්ඩලයකට ආදී කුමන කෙනෙක් ඉල්ලනවා නම් මෙම ඉඩම් ලබාදීමට.

මේ සඳහා ලොකු ගණනක් අවශ්‍ය නෑ. මාසෙකට වර්ග අඩියකට රුපියල් පහක් වැනි සුළු මුදලක් තිබුණොත් ඇති. දුම්රිය දෙපාර්තමේන්තුව හා මහාමාර්ග දෙපාර්තමේන්තුවේ පාරවල් දිගට තියෙන ඉඩම් අල්ලගෙන අපට සත පහක්වත් නොදී මේවා හොරා කන්න ඉඩ දෙනවට වඩා මේ ක්‍රමය හොඳයි. ඉදිකර තිබෙන අනවසර දෑ සියල්ල අපි ඉවත් කරනවා. ඉන් පසු අදාළ ආයතන සමඟ මෙ කොටස් නව ක්‍රමය යටතේ දීමට කටයුතු කරනවා.

තව සති දෙකකින් පුවත්පත් දැන්වීම් පළ කරනවා ඕනෑම අයකුට මේ ඉඩම් සඳහා ඉල්ලුම් කළ හැකියි. අද දුම්රිය දෙපාර්තමේන්තුව රුපියල් කෝටි දහයකට වඩා අලාභ ලබනවා. ඉන්ධන සඳහා දරන වියදමවත් හොයා ගන්න බැරි තත්ත්වයකට පත්වෙලා තමයි 2021 තිබුණේ. ආදායම තිබුණේ බිලියන 2.6ක්. සේවකයන්ට අතිකාල දීමනා විතරක් තිබුණා 2.3ක්. වැටුපට බිලියන හතක් අවශ්‍යයි. ඉතින් කොහොමද මේවා පවත්වාගෙන යන්නේ.

මෙවැනි ගොඩනැඟිලි හදන්න, මංමාවත් හදන්න, ඒවා නඩත්තු කරන්න වත්කමක් නෑ. ජනාධිපතිතුමා උපදෙස් දී තිබෙනවා මේ රටේ සෑම සම්පතක්ම උපරිම ලෙස ප්‍රයෝජනයට ගත්තොත් තමයි රට මේ වැටිලා තියෙන තැනින් ගොඩ ගන්න පුළුවන් වෙන්නේ කියලා. මේ කටයුත්ත කිරීමේදී දේශපාලන වෛරය පතුරන්නේ නැතුව සියලු දෙනා එකට එකතු වන ලෙසයි මා ඉල්ලා සිටින්නේ.”