2023 මැයි 11, ප.ව. 12:19
පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්රීවරයකු ලෙස තමන් අද ඉතා කණගාටුවන බවත් එසේම පක්ෂයේ මහ ලේකම්වරයාගේ කයිවාරු ගැන කණගාටු වන බවත් ඇල්පිටිය ප්රාදේශීය සභාවේ පොදුජන පෙරමුණ මන්ත්රීවරයකු ඇල්පිටිය ප්රාදේශීය සභා මාසික රැස්වීමේදී විශේෂ ප්රකාශයක් කරමින් පැවසුවා.
සභාපති කරුණාසේන පොන්නම්පෙරුම මහතාගේ ප්රධානත්වයෙන් පෙරේදා (09) ප්රාදේශීය සභා රැස්වීම් ශාලාවේ දී ඇල්පිටිය ප්රාදේශීය මාසික සභා රැස්වීම පැවැත්වුණා.
එහිදී පොදුජන පෙරමුණු මන්ත්රී කේ.ඒ.ඩී.සුමිත් මහතා විශේෂ ප්රකාශයක් කරමින් මෙසේ සඳහන් කළා.
“මේ රටේ අරගලය සිදුවෙලා අදට හරියටම වසරක් වෙනවා. එදා මගේ නිවස අරගලකරුවන් විනාශ කළා. උසස් පෙළ හදාරන මගේ දරුවන් දෙදෙනාගේ පොත්පත්, පාසල් උපකරණ පවා ඔවුන් එදා විනාශ කළා. නමුත් පක්ෂයේ කිසිම කෙනෙක් අපි ගැන හොයලා බැලුවේ නැහැ. අපේ හිතවත්තු, ඥාතීන් අපට ඒ මොහොතේ උදව් කළා. පොදුජන පෙරමුණේ නියෝජිතයෙක් විදියට මම කම්පා වෙනවා. පක්ෂයේ කිසිම වගකිවයුතු නායකයෙක් අපට උනේ මොකක්ද කියලා සොයා බැලුවේ නැහැ. අඩුම තරමින් දුරකථන ඇමතුමක්වත් දුන්නේ නැහැ. අද කයිවාරු ගහන පොහොට්ටුවේ මහලේකම්ට වේවා දැනගන්න සලස්වන්න. පක්ෂය යැපෙන්නේ අපෙන්. අපට ලැබෙන සොච්චම් මුදලෙන් හැම මාසයකම රුපියල් දහසක් අපි යවනවා. මගේ ඒ ලෙවල් කරන පොඩි එවුන් දෙන්නගේ පොත්පත් පවා විනාශ වුණා.
“අඩු ගානේ පක්ෂයේ එක මිනිහෙක් නිකමටවත් කතා කරලා ඒ ගැන ඇහුවෙ නැහැ. හැබැයි අපට හිටියේ මිත්රයෝ, ඥාතීන් යම් මට්ටමකින් අපිට උදවු කලා නැවත ඒ දේවල් ගොඩනඟා ගන්න. අපිට ආණ්ඩුවෙන් කියලා හරි පක්ෂයෙන් කියලා හරි සත පහක් ලැබිලා නැහැ. නමුත් අද නොයෙක් බොරු ප්රචාර යනවා ඒ ගැන. ඒ නිසා පක්ෂ විපක්ෂ සියළු මන්ත්රීවරුන්ට දැන ගන්නයි මම මේ ප්රකාශය කරන්නේ.අද සමහර මැති ඇමතිවරු, ආණ්ඩුකාරවරු ගෙවන සුඛෝපභෝගී ජීවිත දැක්කම අපි කම්පා වෙනවා බිම් මට්ටමේ දේශපාලනය කරන අය හැටියට අපිට මොනවද ලැබිලා තියෙන්නෙ කියලා. මේ වගේ පක්ෂයක අවුරුදු විසි ගණනක් දේශපාලනය කරලා ඔවුන්ට කත් ඇදලා පක්ෂය අපි වෙනුවෙන් ගත්ත තීරණය ගැන අපි කම්පා වෙනවා.”
2024 දෙසැම්බර් 20, ප.ව. 5:40
2024 දෙසැම්බර් 03, ප.ව. 2:24
2024 නොවැම්බර් 28, පෙ.ව. 9:59
2024 නොවැම්බර් 16, ප.ව. 7:19
2024 නොවැම්බර් 15, පෙ.ව. 11:39