hit counter

2024 දෙසැම්‍බර් මස 22 වන ඉරිදා

2023 ජූනි 01, ප.ව. 5:01



මේ වනවිට ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින ගවයන්ගේ සමේ ගැටිති රෝගය හේතුවෙන් දුර්වල ගවයන් මරණයට පත්විය හැකි බව රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය සිසිර පියසිරි මහත්මිය පැවැසුවා.

මහනුවර ඊයේ (31) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ මෙම වයිරස් රෝගය ශීඝ්‍රයෙන් පැතිර යෑමේ අවදානමක් පවතින බැවින් කඩිනමින් රෝග පාලනය කළ යුතු බවයි. 

මෙහිදී තවදුරටත් අදහස් පළ කළ හෙතෙම මෙසේද සඳහන් කළා.

“ගව සමේ ගැටිති රෝගය වයිරසයක් මඟින් බෝ වන රෝගයක්. මේ රෝගය පසුගිය සමයේ බස්නාහිර පළාත ඇතුළු පළාත් රැසක ව්‍යාප්තව තිබුණත් ක්‍රම ක්‍රමයෙන් අඩු වුණා. නමුත් දැන් නැවතත් වයඹ පළාතේ ශීඝ්‍රයෙන් පැතිර යනවා. ඒකට හේතුව තමයි වයඹ පළාතේ අධික ගව ගහනයක් පැවැතීම. ගව පට්ටියක ඉන්න එක ගවයකුට මේ රෝගය ආවොත් මැසි, මදුරු, කිනිතුල්ලන් වැනි සතුන් මඟින් අනෙක් සියලු සතුන්ට බෝවීමේ අවදානමක් තිබෙනවා. ඒ වගේම ඒ ගව ගාලේ  ඉන්න දුර්වල හා වෙනත් රෝගී සතුන්ට මෙම රෝගය වැලදුණොත් සංකූලතා තත්ත්වයන් ඇතිවී එම ගවයා මියයන්න පවා පුළුවන්. නමුත් මේ රෝගයෙන්ම ගවයකු මිය යෑමට තියෙන අවස්ථාව ඉතාමත් අඩුයි. සාමාන්‍ය නිරෝගී ගවයෙක් මේ රෝගයෙන් මිය යන්නෙ නෑ. මේ රෝගය හැදුණාම සතුන්ට උණ, කෑම අරුචිය වැනි තත්ත්වයන් උද්ගතව ප්‍රතිශක්තිකරණය අඩු වෙනවා. මේ තත්ත්වය යටතේ පණු රෝගය වැනි රෝග තත්ත්වයන් ඇති ගවයන්ට සංකූලතා වැඩි වෙලා මිය යන්න පුළුවන්. 

පසුගිය කාලේ වේගයෙන් ව්‍යාප්ත වූ කුර හා මුඛ රෝගය වගේ මේ සමේ ගැටිති රෝගයත් වේගයෙන් ව්‍යාප්ත වෙන්න පුළුවන්. ඒ නිසා ජෛව පාලන ක්‍රමවේද හා නිසි ඔෟෂධ ලබාදී වෛද්‍ය උපදෙස් මත රෝගය පාලනය කළ යුතුයි. ගවයන්ගේ සමේ ගැටිති රෝගය පමණක් නෙවෙයි මේ වන විට ඌරන්ගේ පී.ආර්.ආර්.එස්. වයිරස් රෝගයද ක්‍රම ක්‍රමයෙන් ව්‍යාප්ත වන බව අපට දැනගන්නට ලැබී තිබෙනවා. නමුත් මේ වන විට මේ රෝග පාලනය කිරීම ඉතාමත් අසීරු කාරණයක් බවට පත්වෙමින් පවතිනවා. ඒකට හේතුව තමයි මේ වන විට උද්ගතව පවතින විශාල පශු වෛද්‍යවරුන්ගෙ හිඟය, රජය මේ ගැටලු සඳහා කඩිනම් විසදුම් ලබාදිය යුතුයි කියලා රජයේ පශු වෛද්‍යවරුන්ගේ සංගමය වශයෙන් අපි වැඩිදුරටත් සඳහන් කරන්න කැමැතියි.” යනුවෙන්ද හෙතෙම සඳහන් කළා.