hit counter

2025 ජූලි මස 04 වන සිකුරාදා

2023 සැප්‍තැම්‍බර් 11, ප.ව. 8:32



පාස්කු ප්රහාරය සම්බන්ධයෙන් නැගෙන චෝදනා පිළිබඳව ජාත්‍යන්තර සබඳතා සහිත පිළිගත හැකි පරීක්ෂණයකට නොගොස් පාර්ලිමේන්තුව තුළින් විසඳුම් සෙවීමට උත්සහ කිරීම විහිළුවක් යැයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී ඉමිතියාස් බාකිර් මාකර් මහතා පවසනවා.

පාර්ලිමේන්තු කමිටු මගින් විසඳුම් සෙවීමට උත්සහ කිරීමෙන් සිදුවන්නේ ජනතාව තුළ ඒ සම්බන්ධයෙන් ඇතිව තිබෙන අවිශ්වාසය තවත් වැඩිවී විසඳුම් යටපත් වීම යැයි ද ඒ මහතා සඳහන් කළා.

මල්වතු අස්ගිරි උභය මහා විහාරීය මහානයක ස්වාමින්ද්රයන් වහන්සේ දෙනම බැහැදැක ආශිර්වාද ලබා ගැනීමෙන් පසු ඊයේ (11) මාධ්ය හමුවේ අදහස් දක්වමින් බාකීර් මාකර් මහතා මේ බව ප්‍රකාශ කළා.

පාර්ලිමේන්තු මන්ත්‍රි ඉමිතියාස් බාකිර් මහතා විසින් රචිත සිතමු නම් වූ ග්‍රන්ථය උන්වහන්සේ දෙනම වෙත පිළිගැන්වීම ද ඒ මහතා අතින් සිදු කෙරුණා.                                                                                                                 

ජාත්‍යන්තර සබඳතා සහිත විධිමත් පරීක්ෂණයක් මේ සම්බන්ධයෙන් කළ යුතු බව කාදිනල් හිමිපාණන්ගේ ද අදහස බවත් ජනපතිවරයා ද ස්කොට්ලන්ඩ් යාඩ් පොලීසියේ සහය ඇතිව පරීක්ෂණයක් කළ යුතුය යන ස්ථාවරයේ සිටි බවත් කී ඒ මහතා විපක්ෂනායකවරයා දරන්නේද ඊට සමාන මතයක් යැයි ද අවධාරණය කර සිටියා.

මේ සම්බන්ධයෙන් අප තීන්දු ලබා නොදිය යුතු නමුත් පිළිගත හැකි සාධාරණ පරීක්ෂණයක් කිරීමේ වගකීමෙන් මිදිය නොහැකි යැයි ද මන්ත්‍රීවරයා පැවසුවා.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන සම්බන්ධයෙන් රටේ ජනතාව තුළ එතරම් විශ්වාසයක් නොමැති පසුබිමක් තිබිය දී අප තව තවත් එම අවිශ්වාසය වැඩ කරන ආකාරයේ ක්රියා නොකකළ යුතු යැයි ද ඒ මහතා ප්‍රකාශ කළා.

මේ රට අද පවතින තත්ත්වයට ඇද දැමූ පිරිසගේ ග්‍රහණයෙන් මිදී ජනපතිවරයා ජනතා අභිලාෂයන්ට අනුව යමින් ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ඇතිකළ යුතුව තිබෙන නමුත් එවැනි තත්ත්වයක් ඇතිවන බවක් පෙනෙන්නට නැතැයි මන්ත්‍රීවරයා කියා සිටියා.

ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්ම අභියෝගයට ලක්වූ සමාජයක් අන්තවාදය කරා ගමන් කරන බවත් මේ මොහොත් සියලු දෙනා ජනතාවගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කරදීම පිණිස කැපවිය යුතු බවත් ඒ මහතා කියා සිටියා.