2023 නොවැම්‍බර් 03, පෙ.ව. 12:15
තිස්සමහාරාම ඔන්මැක්ස් ඩී.ටී. (ONMAX DT) ආයතනය තුළ මුදල් ආයෝජනය කළ හාරලක්ෂ පනස් දහසකගේ රුපියල් කෝටි 3,000කට වැඩි මුදලක් වංචා කර ආයතන ප්‍රධානීන් රටින් පැන යෑමට උත්සාහ කරමින් සිටින බව ඔන්මැක්ස් ඩීටී අනාථ වූවන්ගේ සංගමයේ කැඳවුම්කරු ඩබ්ලිව්.එස්. දුමින්ද කුමාර මහතා පැවසුවා.
ඔන්මැක්ස් ආයතනයෙහි මුදල් ආයෝජනය කළ ලක්ෂ හතරහමාරක් දෙනා ඒකරාශී කරගනිමින් විරෝධතා පා ගමනකින් කොළඹට ඒමට සැලසුම් කරමින් සිටින බවද ඔහු සඳහන් කළා.
ඔන්මැක්ස් ආයතනයේ ප්‍රධානීන් පස්දෙනා වන සම්පත් සඳරුවන්,
ගයාන් අබේරත්න, ධනංජය ජයාන්, අතුල ඉන්දික, සාරංග ජයතිස්ස යන අය දේශපාලන රැකවල් මත කොළඹ සැඟව සිටින බවත් එම නිසා ඔවුන් සමඟ කතා කිරීමට හෝ අවස්ථාව නොලැබෙන බවත් හෙතෙම සඳහන් කළේය. තැන්පත්කරුවන් බොහෝ පිරිසක් පහළින් සිටින ප්‍රධානීන් සොයා නිවාසවලට ගියද ඔවුන් එම ප්‍රදේශයෙන් පලා ගොස් ඇත. ඔන්මැක්ස් අනාථ වූවන්ගේ සංගමයේ සම කැඳවුම්කරු එච්.ඩී. රුවන් ප්‍රසංග සඳහන් කළේ “ලක්ෂ හතරහමාරක පමණ පිරිසක් මේ අන්දමින් මුදල් ආයෝජනයට පෙලඹුණේ හෝටල්වල ප්‍රසිද්ධ දේශන පවත්වමින් ඔවුන් අපිට විශ්වාසෙ ඇති කළ නිසා. ඒ දේශනවලදී කිව්වේ අපෙන් ගන්න මුදල්වලින් ජෝර්ජියාවේ ආයෝජනය කරලා තියනවා. ලෝකේ ආර්ථික කලාපවල ආයෝජනය කරලා තියෙනවා කියලයි. වැලි කාන්තාරවල ව්‍යාපෘති කරලා තියෙනවා කියලා පෙන්නුවා.
රත්රන් බිස්කට් අරගෙන ලෝකෙ රත්රන් මිල අධිකම බැංකුවල තැන්පත් කරලා තියෙනවා කියලා කිව්වා. ක්‍රිප්ටො කරන්සිවල ලොකු ඉන්වෙස්මන්ට් කරලා තියනවා කිව්වා. ඉතින් ඒ ඔස්සේ අපි විශ්වාස කළා. මොකද ගොඩක් රාජ්‍ය නිලධාරීන් පවා මේකෙ ආයෝජනය කරන්න පටන් ගත්තා. හැබැයි කිසිම බලධාරියකු අපිට ඔන්මැක්ස් ඩීටී සල්ලි ආයෝජනය කරන්න එපා කියලා කිව්වෙ නෑ” යනුවෙන් සඳහන් කළා.
ඔන්මැක්ස් ඩීටී අනාථ වූවන්ගේ සංගමයේ ලේකම් ආර්.ඒ. සචි කුමාර අදහස් දක්වමින්, “දුක් මහන්සියෙන් හම්බ කර ගත්තු මුදල් ඔන්මැක්ස් ආයතනයේ ආයෝජනය කළේ එකට පස් ගුණයක් ලබාදෙනවා කියපු නිසා. අනාථ වූ හාරලක්ෂ පනස් දහසක් වෙනුවෙන් පාර්ලිමේන්තුවේ කිසිදු නියෝජිතයකු මේ වන තෙක් වචනයක් හෝ සඳහන් කර නෑ. අපේ සල්ලි අරන් රටින් පැන යන තෙක් දේශපාලනඥයන් සිනා සිසී බලා සිටිනව වෙන්න පුළුවන්” යැයි කියා සිටියා.
ඔන්මැක්ස් ඩීටී ආයතනයේ අධ්‍යක්ෂවරුන් වන ධනංජය ජයාන් සහ සම්පත් සඳරුවන් වෙත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පිරමීඩ ජාවාරමක් සිදු කරගෙනයෑම සම්බන්ධයෙන් නඩු පවරා තිබුණත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රමාණවත් සාක්ෂි ලබානොදීම හේතුවෙන් ඔවුන් නිදහස් වූ බව ඔහු කීය. ඔන්මැක්ස් ජාවාරම සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි 30කට වැඩි ප්‍රමාණයක් හා එෆ්.සී.අයි.ඩී.යට පෙත්සම් 1,480ක් යොමුකර ඇති පසුබිමක නීතිය නිසි පරිදි ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් කනගාටුව පළ කර සිටියා.
අද හෙටම මේ චෞර කණ්ඩායම පවුල් පිටින් රටින් පැන යෑමට සූදානමින් ඇති බවට තොරතුරු ලැබී ඇති බවත් මෙම සියලු කටයුතු පිටුපසින් දේශපාලන හස්තයක් ක්‍රියාත්මක වන බවට සැකයක් ඇති බවද දුමින්ද මහතා වැඩිදුරටත් සඳහන් කළේය. මේ ගැටලුවට ජනාධිපතිතුමා මැදිහත් වී වංචාවට අසුවූ හාරලක්ෂ පනස්දහසක් දෙනාට සාධාරණය ඉටු කර දෙන ලෙස ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටින බවද දුමින්ද කුමාර මහතා මාධ්‍යයට අදහස් දක්වමින් කියා සිටියා.
කෝටි 3,000කට වැඩි මුදලක් තැන්පත් කර ඇති පසුබිමක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මුදල් වත්කම් රුපියල් කෝටි 150ක් පමණක් සොයා ගැනීමත් ගැටලු සහිත බවත් ලක්ෂ 10, 20 ආදී වශයෙන් රු. කෝටි තුන්දහසකට වැඩි මුදලක් තැන්පත් කළ තැන්පත්කරුවන් සඳහා රුපියල් කෝටි 150ක් කෙසේ බෙදන්නද ඔහු සඳහන් කළා.
2025 මැයි 18, ප.ව. 4:49
2025 මැයි 18, ප.ව. 4:46
2025 මැයි 18, ප.ව. 4:42
2025 මැයි 18, පෙ.ව. 12:24
2025 මැයි 18, පෙ.ව. 12:12