hit counter

2025 ජූලි මස 03 වන බ්‍රහස්පතින්දා

2023 නොවැම්‍බර් 14, ප.ව. 3:03



ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළේ අයවැයක් නොව ඉලක්කම් විජ්ජාවක් බැවින් එහි රාජ්‍ය සේවකයන් සම්බන්ධයෙන් වන යෝජනා කිසිසේත්ම පිළිනොගන්නා බව ශ්‍රී ලංකා රාජ්‍ය නිලධාරි වෘත්තිය සමිති සම්මේලනය අවධාරණය කරයි.                                                                

මහනුවර 14 දින පැවති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා රාජ්‍ය නිලධාරි වෘත්තිය සමිති සම්මේලනයේ සභාපති සුමිත් කොඩිකාර කියා සිටියේ මෙම සුරංගනා කතාවලට මෙවර රාජ්‍ය නිලධාරීන් කිසිසේත් නොරැවටෙන බවත් තම ඉල්ලීම් සඳහා සාධාරණය ඉටුවන තුරු වෘත්තීය අරගල අඛණ්ඩවම සිදුකරන බවත්ය.                                                

මෙහිදී තවදුරටත් අදහස් පළ කළ ඒ මහතා මෙසේද සඳහන් කළා.

“2015 වසරේ සිට රාජ්‍ය සේවකයන් සඳහා කිසිදු ආකාරයක වැටුප් වැඩිවීමක් සිදු වුණේ නෑ. නමුත් ජීවන වියදම අහස උසට නැගල. රාජ්‍ය සේවකයා අන්ත අසරණ තත්වයකට පත්ව සිටි නිසයි අපි දිගින් දිගටම කීවේ රුපියල් 20.000 ක් වැටුප් වැඩි කරන්න කියලා. නමුත් සුපුරුදු පරිදි මේ පාරත් රාජ්‍ය සේවකයාට කැරට් අලේ දික් කරල තියෙනවා. රුපියල් 10.000 ක් අප්‍රේල් මාසයේ ඉඳලා වැඩිකරනවාලු. ජනවාරි මස සිට හිඟය කොටස් වශයෙන් දෙනවලු. අවම වශයෙන් මේ රුපියල් 10.000 ජනවාරි මස ඉඳලා ගෙවනවානම් අපි අඩියක් ආපස්සට ගන්න සූදානම්. නමුත් මහ අවුල් ජාලයක් වූ අස්වැසුම සඳහා දරා ගත නොහැකි ආකාරයෙන් මුදල් වෙන් කරලා තියෙනවා.

ඒක තනිකරම මැතිවරණයක් බලාගෙන කරපු දෙයක්. අපි මේ පාර්ලිමේන්තුවේ 225 න්ම ඉල්ලන්නේ අය වැය විවාදයේදී කිඹුල් කඳුළු නොහෙළා රාජ්‍ය සේවකයා වෙනුවෙන් කතා කරන්න කියලයි. අපි අසරණ වෙලා කර කියා ගන්න දෙයක් නොමැතිව ඉන්නවා. ඒ අතරේ ජනවාරි මස සිට වැට් බද්ද සියයට 18 ක් දක්වා ඉහළ නංවලා. එතකොට ජල ,විදුලි, ඉන්ධන, ගෑස් ඇතුළු අත්යවශ්ය ආහාර ද්‍රව්‍ය සියල්ලෙහිම මිල සැලකිය යුතු ආකාරයෙන් ඉහළ යනවා. මෙතෙක් වැට් බද්ද අය නොකළ භාණ්ඩ 150 කට පමණ මේ බද්ද ගහනවලු. අපි කොහොමද ජීවත් වෙන්නේ. මේක හරියට අපේ මේ අතින් අරගෙන අනෙක් අතට දෙනවා වගේ ඉලක්කම් විජ්ජාවක්. ජනාධිපතිවරයා කියනවා එයා බාරගත්තේ අපායක් වගේ රටක්ලු. දැන් අමුතුවෙන් කියන්න ඕනේ නෑ ජනාධිපතිවරයා මේ රටේ ජනතාව වගේම රාජ්‍ය සේවකයා අපායට දාලා ඉවරයි. අපි තවදුරටත් ඉවසන්නේ නෑ. අපට සාධාරණයක් වන තුරු සමස්ත රාජ්‍ය සේවකයෝ සමඟ වෘත්තීය  ක්රියාමාර්ග දිගටම ගන්න අපි තීරණය කරලා ඉවරයි.” යනුවෙන්ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළා.

මෙහිදී අදහස් පළ කළ ශ්‍රී ලංකා රාජ්‍ය නිලධාරී වෘත්තීය සමිති සම්මේලනයේ ජාතික සංවිධායක ප්‍රදීප් බස්නායක කියා සිටියේ මෙම අයවැයෙන් රාජ්‍ය සේවකයා තව තවත් කබලෙන් ලිපට දමා ඇති බවය. අනත් දරු, වැන්දඹු විශ්‍රාම වැටුප සඳහා රාජ්‍ය නිලධාරීන්ගෙන් තවත් මුදලක් අය කරනවා නම් ඉතිරි සොච්චම් වැටුපෙන් හිඟාකනවා හැර වෙන කිරීමට දෙයක් නොමැති බවද හෙතෙම පැවසුවා.                                                

එම සම්මේලනයේ භාණ්ඩාගාරික මංජුල ආරියරත්න මාධ්‍ය හමුව අමතමින් කියා සිටියේ මෙවර අයවැය වත්මන් ජනපතිගේ ඉදිරි ජනපති සිහිනය සැබෑ කර ගැනීම උදෙසා ඉදිරිපත් කළ ලියවිල්ලක් මිස රටේ ජනතාවගෙ සුබසාධනය උදෙසා ඉන් කිසිදු පියවරක් ගෙන නොමැති බවය.

බදු බරින් මිරිකී හිගා නොකා හිඟා කන මේ රටේ ජනතාවට තව තවත් බදුබර පටවමින් පීඩාවට පත්කොට ඇති බවත් මේ ආකාරයෙන් බදු අය කිරීමට තරම් ජනතාවගේ ආදායම් වර්ධනය වී ඇත්දැයි තේරුම් ගැනීමට නොහැකිදැයි හෙතෙම ප්‍රශ්න කළා.

මෙම ඊනියා අයවැයට එරෙහිව දිගින් දිගටම වෘත්තිය ක්‍රියාමාර්ග ගන්නා බවද හෙතෙම සඳහන් කළා.